වික්ටෝරියා ප්‍රාන්තයට මුල්‍යමය උපකාර ලබාදීම ඕස්ට්‍රේලියා මධ්‍යම රජය එක හෙලා ප්‍රතික්ෂේප කරයි : මැයි 31දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 31 වන සඳුදා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Australian federal government refuses to provide financial assistance to Victoria

Federal Treasurer Josh Frydenberg - Victorian Treasurer Tim Pallas Source: AAP / AAP -James Ross

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 5ක් / ප්‍රාන්තය තුල සක්‍රීය ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට 
  • ඉදිරි පෙළ නිලධාරීන් හට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අසාර්ථක බව විපක්ෂයෙන් චෝදනා
  • මුල්‍යමය උපකාර ලබාදීම ඕස්ට්‍රේලියා මධ්‍යම රජය ප්‍රතික්ෂේප කල බව වික්ටෝරියා ප්‍රාන්ත භාණ්ඩාගාරිකවරයා පවසයි     
  • මාස 18 කට පසු ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත අගමැතිවරුන් මුහුණට මුහුණ හමුවේ 
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හිටපු විපක්ෂ නායක Michael Daley නැවතත් කරලියට
  • ගාසා තීරයේ සාමය ඇතිකිරීමට ඊජිප්තු සහ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශය දුර්වල බව, පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කමරාන් අක්මාල් පවසයි 

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 5ක් / ප්‍රාන්තය තුල සක්‍රීය ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින Lockdown තත්වයේ අද සිව් වන දිනය වන අතර පසුගිය පැය 24 තුලදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු කල පරීක්ෂණ 43,874 ක් ඔස්සේ ප්‍රාන්ත ප්‍රජාව අතුරින් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන සක්‍රීය කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව 54 ක් ලෙස වාර්තා වේ.
පසුගියදා හඳුනාගත් වයස්ගත සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවයෙහි නිරත සේවිකාවක හට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු කෙරෙන බවද වාර්තා වේ .

මේ හේතුවෙන් එම සේවිකාව සේවය කල වයස්ගත සත්කාරක මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කල අතර ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ ආසාදිතයින් 5 දෙනා අතුරින් මෙම වයස්ගත සත්කාරක සේවා සපයන්නියටද වෛරසය අසාදනය වී ඇති බව අනාවරණය විය.

එම නිලධාරිනිය Arcare Maidstone වයස්ගත සත්කාරක මධ්‍යස්ථානයේ පසුගිය 27 වැනිදා සහ 28 වැනිදා සේවය කොට ඇති අතර 28 වැනිදා සිදු කල පරීක්ෂණ සඳහා මෙම සේවිකාව කොරෝනා වෛරසයට ධනාත්මක වී තිබේ.

මෙම නිලධාරිනිය හට පළමු කොරෝනා එන්නත් මාත්‍රාව ලබා දී ඇති නමුත් ඇයත් සමග සේවයෙහි නිරත ඇතැම් සේවිකාවන් හට කොරෝනා එන්නත් ලබා දී නොමැති බවද හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්ටෝරියා හි COVID-19 පරීක්ෂණ මෙහෙයුම් නිලධාරී Jeroen Weimar සඳහන් කොට සිටින්නේ, වයස්ගත සත්කාරක සේවයෙහි නිරත මෙම සේවිකාව,පසුගිය දින කිහිපයක කාලය ඇතුලත එම මධ්‍යස්ථානය තුල සහ ප්‍රජාව අතර ගමන් කල ස්ථාන පිලිබඳ අවධානය යොමු කොට ඇති බවයි.

එමෙන්ම මෙම වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ බොහෝ පිරිසකට සහ සේවකයින් හටද කොරෝනා එන්නත ලබා දී ඇති බව ඔහු සඳහන් කොට සිටී

ඉදිරි පෙළ නිලධාරීන් හට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අසාර්ථක බව විපක්ෂයෙන් චෝදනා

වයස්ගත සත්කාරක ක්ෂේස්ත්‍රයේ නිලධාරීන් හට කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සාමාන්‍ය පිරිස මෙන්ම කටයුතු කිරීමට සිදුව ඇති බව ඕස්ට්‍රේලියා කම්කරු පක්ෂය රජයට චෝදනා කොට සිටී.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඇතිවූ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග එම ප්‍රාන්තයේ සියලුම වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන වල පුද්ගලන් හට සහ සේවකයින් හට පළමු කොරෝනා එන්නත් මාත්‍රාව එන්නත් කිරීම සිදු කරන බව ඕස්ට්‍රේලියානු රජය පසුගියදා සඳහන් කළේය.

කෙසේ නමුත් කම්කරු පක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටින්නේ වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන වල පිරිසට මෙම එන්නත්කරන වැඩපිළිවෙලේ ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බවට කලක් තිස්සේ තම පක්ෂය සඳහන් කල නමුත් මෙම ක්ෂේස්ත්‍රයේ ඇතැම් සේවකයින් හට සාමාන්‍ය පිරිස මෙන් පවුල් වෛද්‍යවරුන් හරහා එන්නත් ලබාගැනීමට සිදුව ඇති බවයි.

මුල්‍යමය උපකාර ලබාදීම ඕස්ට්‍රේලියා මධ්‍යම රජය ප්‍රතික්ෂේප කල බව වික්ටෝරියා ප්‍රාන්ත භාණ්ඩාගාරිකවරයා පවසයි

වික්ටෝරියා ප්‍රාන්තය මේ වනවිට මුහුණ දී ඇති තත්වය හේතුවෙන්, මුල්‍යමය උපකාර අවශ්‍ය බවට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට සඳහන් කලද, එම ඉල්ලීම්, ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා ප්‍රතික්ෂේප කල බව වික්ටෝරියානු ප්‍රාන්ත භාණ්ඩාගාරික Tim Pallas පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර 90,000 ක් දක්වා උපකාර ලබාදීම සඳහා එම ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 250ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කළේය. කෙසේ නමුත් ප්‍රාන්ත භාණ්ඩාගාරිකවරයා පවසන්නේ ඒ සඳහා කිසිදු සහායක් දැක්වීම සම්බන්ධයෙන් මධ්‍යම රජය ප්‍රතික්ෂේප කල බවයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය සඳහා සහාය දක්වන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටී. ඔහු සඳහන් කොට සිටින්නේ මේ වනවිටත් ඩොලර් බිලියන 45ක පමණ මුදලක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් එම ප්‍රාන්තයේ කටයුතු සඳහා ලබා දී ඇති බවද ඔහු සඳහන් කොට සිටී.

මාස 18 කට පසු ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත අගමැතිවරුන් මුහුණට මුහුණ හමුවේ

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සහ නවසීලන්ත අගමැතිනිය වන Jacinda Ardern අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී සාපරාධී වැරදි සිදුකළ නවසීලන්ත පුරවැසියන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ මතභේදාත්මක ප්‍රතිපත්තීන් ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන අතර මෙම හමුව වසරකත් වඩා වැඩි කාලයකට පසු දෙරට නායකයින් අතර මුහුණට මුහුණ සිදු වන පළමු හමුවීම වේ.

එමන්ම මීට මාස 18 කට පමණ පෙර සිඩ්නි හි පැවති කොරෝනා වසංගතය පිලිබඳ දැනුවත් වීමේ හමුවකදී දෙපාර්ශවය අවසන් වරට හමුවූ අතර, මේ වනවිට දෙරටම කොරෝනා වෛරස මැඩපැවැත්වීමේ කාර්යයේදී සාර්ථක ප්‍රතිපල අත්කරගැනීමට සමත් වී ඇති බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හිටපු විපක්ෂ නායක Michael Daley නැවතත් කරලියට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කම්කරු පක්ෂ නායක ලෙස තරඟ කිරීමට තමන් සුදානම් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හිටපු විපක්ෂ නායක Michael Daley නිවේදනය කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂ නායක Jodi McKay ඉල්ලා අස්වීමෙන් පසු Michael මෙම නිවේදනය කොට ඇති අතර ඔහු මීට පෙර 2018 වසරේ අගභාගයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂ නායකත්වය දැරූ අතර 2019 වසරේ පැවති මැතිවරණයන් එම පක්ෂය පරාජයට පත් විය.

ඔහු, පසුගියදා සිය නිලයෙන් ඉල්ලා අස්වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂ නායිකාව ලෙස සිටි Jodi McKay, ප්‍රාන්ත කම්කරු පක්ෂය වෙනුවෙන් ලබා දුන් දැඩි සහාය සඳහාද සිය ස්තුතිය පල කොට සිටී

ගාසා තීරයේ සාමය ඇතිකිරීමට ඊජිප්තු සහ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

ගාසා තීරයේ සාමය ඇතිකිරීමට සහ සටන් විරාමයක් ඇති කිරීමේ පරමාර්ථයෙන් ඊජිප්තු විදේශ අමාත්‍ය Sameh Shukry සහ ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gabi Ashkenazi අතර Cairo හිදී සාකච්චා පැවැත් වී තිබේ.

2008 වසරින් පසු ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයකු ඊජිප්තුවට ගිය පළමු සංචාරය මෙය ලෙස වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා සඳහන් කොට සිටින්නේ සිදු කල සාකච්චා සාර්ථක බව තමන් විශ්වාස කරන අතර දෙරට අතර සබඳතා වර්ධනය කරගැනීම අපේක්ෂාව වන බවයි.

පලස්තීන කණ්ඩායමක් වන හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර දින 11 ක කාලයක් පුරා සිදු වූ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයින් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර බොහෝ පිරිසක් අවතැන් වී තිබේ.

එමන්ම හැමස්ස් සටන්කාමීන් භාරයේ පසුවන ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ වැසියන් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරුන් මෙහිදී සාකච්චා කොට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශය දුර්වල බව, පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කමරාන් අක්මාල් පවසයි

එළඹෙන, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දීය C කණ්ඩායමක් සහභාගී වුවද , ඉන්දියාවට ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට හැකි බව පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කමරාන් අක්මාල් සඳහන් කොට තිබේ.

ඔහු සිය නිල Youtube නාලිකාව ඔස්සේ සාකච්චාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කොට තිබේ. මෙහිදී ක්‍රීඩක කමරාන් අක්මාල් සඳහන් කොට ඇත්තේ බංගලාදේශ කණ්ඩායම හමුවේද අන්ත පරාජයකට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට අතිශය දුර්වල තත්වයක පවතින බවයි.

ලබන ජූලි මසදී ඉන්දීය කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරඟාවලියකට සහ ශ්‍රී ලංකාව සමග සීමිත පන්දුවාර තරඟාවලියකට සහබාගී වීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් මෙම තරඟාවලි දෙක සඳහා යෙදවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව සිය අවධානය යොමු කොට තිබේ.


Share
Published 31 May 2021 12:46pm
By Nipuna Dodangoda

Share this with family and friends