මැයි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ඇතැම් කොරෝනා නීති ලිහිල් කෙරේ, සම්පූර්ණ විස්තරේ මෙන්න (SBS සිංහල/ වාර්තා)

Coronavirus restrictions

Source: Getty Images

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව අවම වීමට පටන් ගෙන ඇති හෙයින් ඇතැම් ප්‍රාන්ත මේ වන විට කොරෝනා මැඩලීම සඳහා පනවා තිබූ ඇතැම් නීති හා සීමාවන් ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඒ අනුව ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තය හා ටෙරිටරිය අද (01/05) සිට කොරෝනා නීති ලිහිල් කරන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
COVID-19
Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

කොරෝනා වසංගතය මැඩලීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පනවා තිබූ ඇතැම් නීති අද සිට (01/05) ලිහිල් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව සමාජ සම්බන්ධකම් පැවැත්වීම සඳහා වැඩිහිටියන් දෙදෙනෙකුට තම දරුවන් සමග තවත් නිවෙසකට යාමට අවසර ලැබේ.

සමාජ හුදකලා වීම නැවැත්වීමට සහ මානසික සෞඛ්‍ය මනාව පවත්වාගැනීමට පිටිවහලක් සැපයීමේ අරමුණින් එම අවස්ථාව ප්‍රාන්ත ජනතාවට ලබා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

තම හිතවතුන් බැහැදැකීම සඳහා යාමට අවසර ලැබෙන උපරිම දුර ප්‍රමාණය පිළිබඳ ප්‍රාන්ත රජය තීරණය කර නොමැති නමුත් ජනතාව එම වගකීමේ ස්වභාවය අවබෝධ කරගත යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

එහිදී පුද්ගල දුරස්ථභාවය සැමවිටම තබා ගන්නා ලෙසද ප්‍රාන්ත රජය සිය ප්‍රාන්ත වාසීන්ට දැනුම් දෙයි.

ඊට අමතරව Bondi සහ Bronte ඇතුළු සිඩ්නි කලාපයේ ප්‍රසිද්ධ මුහුදු තීර ද යළි විවෘත කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවසර ලබා දී තිබේ.

නමුත් ඒවායේ පිහිනීම සහ දිය මත ලිස්සා යාම පමණක් සිදු කළ යුතු බවට සීමා කොට ඇත.

අව්ව තැපීම, පුද්ගල කණ්ඩායම් එක් රැස්වීම, ඇවිදීම සහ jogging කිරීම යන ක්‍රියා එම මුහුදු තීර වල දැනට තහනම් කර තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

හෙට (02/05) සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයයේ ද කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබූ යම් යම් නීති හා සීමාවන් ලිහිල් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව jet ski පැදීම, යතුරු පැදි ධාවනය සහ පවුලේ කෙටි විනෝද ගමන් වල යෙදීම වැනි ඇතැම් විනෝදාස්වාදය සපයන ක්‍රියා වල නිරතවීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට මැයි 01 වන දින මධ්‍යම රාත්‍රියේ සිට අවසර ලැබේ.

එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජාතික උද්‍යාන ද මහජනයාට විවෘත කෙරෙන අතර ඇඳුම්, සපත්තු වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි කරන වෙළෙද සැල් ද විවෘත කිරීමට මේ අනුව අනුමැතිය හිමිවේ.

කෙසේවෙතත්, තම නිවසේ සිට කිලෝ මීටර් 50 කට අධික දුරක් යාමට කිසිදු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසියෙකුට අවසර නැති අතර පුද්ගල දුරස්ථභාවය සහ සනීපාරක්ෂක ක්‍රියා දිගින් දිගටම අනුගමනය කළ යුතු බව ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය අවධාරණය කරයි.

මහජනයාගේ හැසිරීම අයහපත් වුවහොත් මෙම ලිහිල් කළ නීති නැවත දැඩි කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන් මෙම නීති එලෙසම පිළිපදිනවාදැයිඅධීක්ෂණය කිරීම සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පොලීසිය සති අන්තයේදී මුර සංචාර පවත්වන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Katarina Carroll පැවසුවාය.
Sydney's iconic Bondi Beach will partially open to swimmers and surfers next week as more beaches in NSW begin easing COVID-19 restrictions.
Sydney's iconic Bondi Beach will partially open to swimmers and surfers next week as more beaches in NSW begin easing COVID-19 restrictions. Source: AAP

Northern Territory

Northern Territory වැසියන්ට අද (01/05) සිට නිවෙසින් එපිට බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට අවසර ලැබෙනු ඇත.

නමුත් ඒ සෑම අවස්ථාවකදීම පුද්ගල දුරස්ථභාවය තබාගත යුතු බව Northern Territory රජය පවසයි.

Northern Territory තුළ ඇති ජාතික වනෝද්‍යාන සහ රක්ෂිත විවෘත කිරීමට පියවරගෙන තිබේ.

ඊට අමතරව අද  මධ්‍යහන 12 සිට Northern Territory වාසීන්ට පිහිනීමේ කටයුතු සඳහා මෙන්ම Territory රජය සතු උද්‍යාන වල camping යාමට අවස්ථාව ලැබෙනු ඇත.

එමෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන, අවන්හල්, ආපන ශාලා සහ ඇතැම් තැබෑරුම් මැයි 15 වන දින යළි විවෘත කිරීමට අවසර ලබාදීමට හැකිවෙතැයි Northern Territory ප්‍රධාන අමාත්‍ය Michael Gunner පැවසීය.

නමුත් එම විවෘත කිරීම් පැය 2කට සීමා කළ යුතු බව සඳහන්.

ඊට අමතරව ජුනි 05 වන දින සිට Northern Territory හි කොරෝනා නිසා වසා දැමුණු සියලු ව්‍යාපාර විවෘත කළ හැකි අතර ක්‍රීඩා තරග නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට යාමට අවසර ලැබේ.

මේ වන විට එකදු කොරෝනා මරණයක් හෝ වාර්තා වී නොමැති ප්‍රාන්තය හෝ ටෙරිටරිය ලෙස Northern Territory හැඳින්වේ.
coronavirus restrictions
Source: AAP

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් බටහිර ඔස්ට්‍රේලියාව තුළ පනවා ඇති ඇතැම් නීති අප්‍රේල් 27 සිට ලිහිල් කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පියවර ගත්තේය.

කොරෝනා නීති ලිහිල් කළ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වාර්තා වේ.

ඒ අනුව අප්‍රේල් 27 සිට පුද්ගලයින් 10 දෙනෙකු දක්වා එක්රැස්විය හැකි බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පවසයි.

මෙතෙක් කලක් එය පුද්ගලයින් දෙදෙනෙකුට සීමා විය.

එමෙන්ම උද්‍යාන වලට යාම, මාළු බෑම, ඔරු පැදීම, කඳු නැගීම, camping යාම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමටද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාසීන්ට මේ වන විට අවසර ලැබී තිබේ.

නමුත් ඒ සෑම විටම පුද්ගල දුරස්ථභාවය තබාගත යුතු බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය අවධාරණය කර ඇත.

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමාවන් තවමත් වසා දමා තිබේ.
Restrictions are starting to be loosened in some states and territories.
Restrictions are starting to be loosened in some states and territories. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා නීති හෝ සීමාවන් කිසිවක් තවමත් ලිහිල් නොකිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයට දැනට පනවා ඇති හදිසි තත්ත්වය එළඹෙන මැයි 11 වන දිනෙන් අවසන් වීමට නියමිත බැවින් බොහෝ විට එදින සිට වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට යම් සහනයක් ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයට හැකියාවක් ලැබේ යයි ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
coronavirus restrictions
Source: AAP

දකුණු ඔස්ට්‍රේලියා, ටස්මේනියා ප්‍රාන්ත සහ ACT

පසුගිය සතිය පුරාවටම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අලුත් කොරෝනා ආසාදිතයකු වාර්තා නොවුවත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමට හෝ යම් සහනයක් ලබා දීමට ප්‍රාන්ත රජය තවමත් තීරණය කර නොමැත.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ තවමත් පුද්ගලයින් 10 දෙනෙකුට වඩා එක් රැස්වීමට නොහැකි අතර කොරෝනා නීති උල්ලංඝනය කළ විට දඩ ලබා නොදෙන බවද වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් දැනට නොමැති වූ පළමු ප්‍රාන්තය හෝ ටෙරිටරිය ලෙස Australian Capital Territory පත්ව තිබේ.

Australian Capital Territory යෙන් වාර්තාවූ සියලුම කොරෝනා ආසාදිතයින් මේ වන විට සුවවී නිවෙස් වලට ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේනමුත්, Australian Capital Territory වාසීන් ඒ පිළිබද උද්දාමයට පත්විය යුතු නැති බව Australian Capital Territory හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීනී Kerryn Coleman පැවසුවාය.

මේ වන විටත් ටස්මෙනියා ප්‍රාන්තය සහ Australian Capital Territory පනවා ඇති කිසිදු කොරෝනා නීතියක් ලිහිල් කර නැති බවද වාර්තා වේ.


Share
Published 1 May 2020 10:49am
Updated 12 August 2022 3:20pm
By Madhura Seneviratne, Nick Baker
Source: SBS News

Share this with family and friends