කොරෝනා ව්‍යාප්තිය පාලනයට දැනට ඕස්ට්‍රේලියාවේ පනවා ඇති සීමා තවත් සති 04 කාලයක් වත් පවතිනු ඇති බව අගමැති කියයි (SBS සිංහල / වාර්තා)

Prime Minister Scott Morrison gives a coronavirus update at Parliament House in Canberra.

نخست‌وزیر اسکات موریسن در حال صحبت با رسانه‌ها در کنبرا Source: AAP

ඕස්ට්‍රේලියාවේ පවතින කොරෝනා වෛරසය පාලනය සඳහා පනවා ඇති සීමා කිරීම් අවම වශයෙන් තවත් සති හතරක්වත් පවතින බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා සිටී.

ඔහු සඳහන් කොට ඇත්තේ වෛරසය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කිරීම,  contact tracing තාක්ෂණය වැඩිදියුණු කිරීම සහ වෛරස ව්‍යාප්තිය සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම යන කරුණු නිසියාකාරව සපිරුණහොත් පමණක් සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුකරන  බවයි.

එමෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ රජයේ ආර්ථික වැඩපිළිවෙලෙහි කාල රාමුව මාස 06ක් බව නැවතත් තහවුරු කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියාව මේ වනවිට වෛරසය මැඩලීමේ අදියරට එළැඹී ඇති බවයි.

වෛරසය මැඩලීමේ පියවරයන්හිදී, ස්වීඩනය හෝ නවසීලන්තය වැනි රටවල් අනුගමනය කරන වෛරසය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය සහ කණ්ඩායම් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යන පියවරයන් ද්විත්වයෙන්ම බැහැරව ක්‍රියාකරන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කොට තිබේ.

එමෙන්ම වර්තමානයේ ඕස්ට්‍රේලියාව අනුගමනය කරන ක්‍රියාකලාපය අතිශය සාර්ථක බව දත්ත වාර්තා සාක්ෂි දරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

පවතින ව්‍යසනකාරී අර්බුධයෙන් පසුව ජනතාව නැවත සිය රැකියාවන්හි යෙදීමට උපකාරී වන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පෙර පැවති ප්‍රතිපත්ති රාමුව පිළිබඳව නැවත වතාවක් සලකා බැලිය යුතු බවද, එසේ නමුත් කොරෝනා වසංගතයෙන් පසුව ඔස්ට්‍රේලියාවට අභියෝග රැසකට මුහුණදීමට වියහැකි බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබේ.

මැයි මස පාර්ලිමේන්තු රැස්වීම 

ෆෙඩරල පාර්ලිමේන්තුව එළඹෙන මැයි මාසයේදී රැස්වීමට නියමිත වුවද සතියක් පුරා රැස්වීම් තබන්නේදැයි තවමත් විපක්ෂය සමග එකඟතාවයකට පත්ව නොමැති බව Scott Morrison පවසා තිබේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ගන්නා තීරණවලට අනුකූලව ක්‍රියාකිරීමට තමන් සුදානම්ව සිටිනබවද ඔහු තවදුරටත් සඳහන් කොට තිබේ.

පවතින තත්වය හමුවේ, පසුගිය මාර්තු මස මුල භාගයේ සිට දින දෙකකට පමණක් සීමා වූ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් පමණක් පවත්වා ඇති අතර පැවැත්වීමට නියමිතව තිබු සැසිවාර 06 අහෝසි කිරීමට සිදුව ඇත.

රට නැවත යථා තත්වයට පත්වීම ක්‍රමක්‍රමයෙන් සිදුවන අතර පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම අනිවාර්ය කටයුත්තක් ලෙස අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් අභ්‍යන්තර ගුවන්සේවා අවම වීම සහ දේශසීමා වසා දැමීම වැනි ප්‍රයෝගික ගැටලු පවතින අතරවාරයේම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම වැනි හේතූන් මත එළඹෙන සැසිවාරයට සාමාජිකයින් සුළු පිරිසක් පමණක් සහභාගී වනු ඇතැයි විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබේ.
SBS radio
Source: SBS radio

Share
Published 20 April 2020 8:36am
Updated 12 August 2022 3:19pm
By Tom Stayner, Nipuna Dodangoda


Share this with family and friends