බ්‍රිස්බේන් කලාපයේ සම්පූර්ණ lockdown නීති මෙන්න: මාර්තු 29 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 29 වන දා සඳුදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

Queensland Premier Annastacia Palaszczuk.

Queensland Premier Annastacia Palaszczuk. Source: AAP

Highlights

  • අද පස්වරු 5 සිට Greater Brisbane කලාපය දින 3 කට lockdown
  • JobKeeper දීමනාව ලබා දීම නැවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තයේ රැකියා රැසක් අහිමි වීමේ අවදානමක්
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාරයක් පිළිබඳ විමර්ශන
  • ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්
  • Road Safety ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේදී

අද (29/03) පස්වරු 5 සිට Greater Brisbane කලාපය දින 3 කට lockdown

අද (29/03) පස්වරු 5 සිට Greater Brisbane කලාපය දින 3 කට lockdown කෙරේ.

Brisbane කලාපය තුළ දැනට හමුවී ඇති එක්සත් රාජධානියේ කොරෝනා වයිරස ප්‍රභේදය වැළඳුනු ආසාදිතයින්ගෙන් අදාළ වයිරසය සමාජය වෙතට සම්ප්‍රේෂණය වීම වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

පසුගිය පැය 24 තුළ Brisbane නුවරින් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව මෙතෙක් ප්‍රජාව තුළින් හමුවී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ මොහොතේදී Greater Brisbane කලාපය lockdown කිරීම අත්‍යවශ්‍ය පියවරක් බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

ඒ අනුව අද පස්වරු 5 සිට දින 3 ක් යනතෙක් Greater Brisbane කලාපයට පැනවෙන ප්‍රධාන lockdown නීති පහත පරිදි වේ.

  • අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට, රාජකාරී වෙත යාමට, සෞඛ්‍ය සේවා ලබා ගැනීමට සහ ව්‍යායාම් කිරීමට පමණක් නිවසින් බැහැරව යා හැකිය.
  • පාසල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සියල්ලක්ම වසා දැමේ.
  • සමස්ත ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ටම නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • Greater Brisbane කලාපයේ හැර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිවසකට ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාව 30 කට සීමා වේ.
මේ අතර පුද්ගලයන් 25 දෙනෙකුට සාදයක් පැවැත්වූ බවට චෝදනාවක් එල්ල වූ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බ්‍රිස්බේන් වැසියා නිර්දෝෂී බව පෙනී ගොස් තිබේ.

අදාළ චෝදනා බොරු බවට පස්ක්වී ඇති අතර ඒ අනුව ඔහුට විරුද්ධව පොලිස් ක්‍රියාමාර්ග නොගනු ඇත.

කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව වයිරසයට ධනාත්මක බවට තහවුරුවීමත් සමග අදාළ පුද්ගලයාට හුදකලා වීමට නියෝග ලැබී තිබේ.

නමුත් එම නියෝග කඩකරමින් ඔහු සාදයක් පැවැත්වූ බවට ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු ප්‍රකශ කර තිබුණි.

සිදුවූ සිද්ධිය අතිශයින්ම අවාසනාවන්ත සිදුවීමක් බවත් ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු සැපයීමේදී නිවැරදි තොරරතුරු පමණක් සපයන ලෙසත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමතිනී Yvette D'Ath පැවසුවාය.

JobKeeper දීමනාව ලබා දීම නැවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තයේ රැකියා රැසක් අහිමි වීමේ අවදානමක්

JobKeeper ආර්ථික සහන දීමනාව ලබා දීම නැවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තයේ රැකියා අහිමි වීමත් ව්‍යාපාර වසා දැමීමත් සිදුවිය හැකි බව ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තයේ ව්‍යාපාර පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය වසරේ මාර්තු 30 වන දින හඳුන්වා දුන් JobKeeper දීමනාව මාර්තු 28 දිනෙන් අවසන් කිරීමට මධ්‍යම රජය පියවර ගත්තේය.

JobKeeper ආර්ථික සහන දීමනාව නැවත්වීම නිසා 150,000 ක් දක්වාවූ පිරිසකට රැකියා අහිමිවිය හැකි තත්ත්වයක් උදාවිය හැකි බවට භාණ්ඩාගාර ලේකම් Steven Kennedy පසුගිය සතියේ පැවති සෙනට් විමර්ශන කම්ටුව හමුවේ පැවසීය.

JobKeeper දීමනාව නැවැත්වීමෙන් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධව විශාල අවිනිශ්චිතතාවක් ඇතිවන බව Global Ballooning Australia හි අධ්‍යක්ෂ Kiff Saunders පැවසීය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාරයක් පිළිබඳ විමර්ශන

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණයට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාරයක් පිළිබඳ ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය විමර්ශනය කරමින් සිටියි.

තොරතුරු තාක්ෂණ පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සේවා විද්‍යුත් තැපැල් ජාලය සති අන්තයේ දී ක්‍රියා විරහිත විය.

මෙම දෝෂය බාහිර සැපයුම්කරුවෙකු විසින් සිදුකළ දෙයක් බවත් මධ්‍යම පාර්ලිමේන්තු සේවා විද්‍යුත් තැපැල් ජාලයේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් ඉක්මනින් කටයුතු කර ඇති බවත් සහකාර ආරක්ෂක ඇමති Andrew Hastie පැවසීය.

ඔස්ට්‍රේලියානුවන් සයිබර් ආරක්ෂාව පිළිබඳ නොකඩවා සැලකිලිමත් විය යුතු බවට මෙම සිදුවීම නැවත මතක් කර දුන් බවද ඔහු පැවසීය.

මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට තරග නොකරන බවට ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Laming තීරණය කරයි

මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට තරග නොකරන බවට ලිබරල් පක්ෂයේ ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Laming තීරණය කර තිබේ.

කෙසේනමුත්, Andrew Laming මන්ත්‍රීවරයා මෙවැනි හදිසි තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විශ්වාස කරයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Bowman මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරන Andrew Laming සමාජ මාධ්‍යවල කාන්තාවන් සම්බන්ධ අප්‍රසන්න හැසිරීම් වලට සම්බන්ධ වී ඇති බවට පසුගියදා තොරතුරු අනාවරණය විය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කාන්තාවන් අපයෝජනයට සහ හිංසනයට පත්වන බවට මොරිසන් රජයට නොකඩවා චෝදනා එල්ලවන කාලයකදී මෙම සිදුවීම වාර්තා වීම එම අර්බුදය තවත් උග්‍ර කරන්නට විය.

තමන් ද අන්තර්ජාලය හරහා Andrew Laming ගේ අපයෝජනයට ලක්වූ ගොදුරක් බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කරන කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී Kim Richards පැවසුවාය.

මෙම ක්‍රියා හේතුවෙන් මන්ත්‍රී ධුරයෙන් දැන්ම ඉල්ලා අස්වන ලෙසට ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉතිරිව තිබූ අවසාන ප්‍රධාන COVID-19 නීති ලිහිල් කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවසාන ප්‍රධාන COVID-19 නීති ලිහිල් කිරීම යනු ප්‍රාන්තය බොහෝ දුරට යථා තත්ත්වයට පත්වීම බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඕනෑම ස්ථානයක නැටුම් ගැයුම් සඳහා දැන් අවසර ලැබී තිබේ.

එමෙන්ම නිවෙස් වලට පැමිණිය යුතු අමුත්තන් සංඛ්‍යාවේ සීමාවක් ද නොමැති නමුත් එම ප්‍රමාණය 100 ය පාඩු කරනවානම් ඒ සඳහා COVID ආරක්‍ෂිත සැලසුමක් තිබිය යුතු වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කිසිදු ස්ථානයක මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.

නමුත් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන මගීන්ට මුව ආවරණ පැළඳීම ප්‍රාන්ත රජය විසින් උනන්දු කරමින් සිටී.

විවාහ සහ අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි අමුත්තන් සංඛ්‍යාවේ සීමාවක් නොමැත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දුනීසියාවේ Sulawesi දූපතේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

I-S ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ආයුධ සන්නද්ධ ජාලයක සාමාජිකයන් යැයි විශ්වාස කෙරෙන ප්‍රහාරකයින් දෙදෙනෙකු ඊයේ දිනයේදී ජනාකීර්ණ කතෝලික දෙව්මැදුරක් ඉදිරිපිටදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.

දේවස්ථානය වෙතට යතුරුපැදියකින් පැමිණෙමින් සිටි දෙදෙනෙකු වෙත ආරක්ෂක භටයන් ළඟා වී ඇති අතර එහිදී එක් අයෙකු ඔහුගේ බෝම්බයපුපුරුවා හැරි බව වාර්තා විය.

අදාළ ප්‍රහාරකයින් දෙදෙනාම ක්ෂණිකව මිය ගිය බවත්, සාක්ෂිවලින් පෙනී යන්නේ දෙදෙනාගෙන් එක් අයෙකු කාන්තාවක් බවත් පොලිසිය පසුව කියා සිටියේය.

දේවස්ථානයේ මුරකරුවන් සිව් දෙනෙකු සහ සාමාජිකයන් කිහිප දෙනෙකුද මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.

Road Safety ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේදී

Road Safety ලෝකශූරතා ප්‍රවීනයන්ගේ විස්සයි 20 තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේ දී ම පැවැත්වීමට සංවිධායකින් තීරණය කර තිබේ.

තරගාවලියේ දෙවන අදියර මෙම වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සංවිධායකයින් බලාපොරොත්තුවෙන් පසුවන බවට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ෂ්‍යාම් ඉම්පෙට් මහතා පැවසීය.

මෙම තරගාවලිය පසුගිය වසරේ දී ආරම්භ වූ අතර එයට කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ල වීමත් සමග අතරමග නවතාලීමට සිදුවිය.

නමුත් තරගාවලිය අවසන් කළ තැන සිට නැවතත් මෙම වසරේදී ආරම්භ වූ අතර එහි අවසන් මහා තරගය සඳහා සුදුකසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

අවසන් තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට සමත් වුයේය.

ඒ අනුව ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් පසුව “Road Safety ලෝකශූරතා ප්‍රවීනයන්ගේ  තරගාවලියේ දෙවන අදියර ආරම්භ වීමට නියමිතය.


Share
Published 29 March 2021 1:18pm
Updated 29 March 2021 1:33pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends