ඔස්ට්‍රේලියාවේ අලුතින් ස්ථිර පදිංචිය ලැබූවන්ට සුබසාධන ප්‍රමාද කිරීම කුරිරැ බවට රජයට චෝදනා : මැයි 13දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 13 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Federal Treasurer Josh Frydenberg - Migrants

Source: AAP

Highlights
  • දකුණු ඕස්ට්‍රේලියා නිරෝධායන හෝටලයෙදී වික්ටෝරියානු වැසියාට කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගැනේ
  • වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් වල අවදානම් ප්‍රදේශ වලින් පැමිණෙන පිරිසට දකුණු ඔස්ට්‍රේලියාව තහනම්
  • අයවැයෙන්, ඕස්ට්‍රේලියානු නව සංක්‍රමණිකයින්ට සුබසාධන ලබාදීම ප්‍රමාද කිරීමේ තීරණය කුරිරැ බවට චෝදනා
  • ශ්‍රී ලංකාවේ එන්නත්කරන මධ්‍යස්ථාන තුල නොසන්සුන්තා
  • ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ ගනන තවත් 4000කින් ඉහලට
  • ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර ගැටුම් වලින් ගාසා තීරයේ 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර ජූලි 30

දකුණු ඕස්ට්‍රේලියා නිරෝධායන හෝටලයෙදී වික්ටෝරියානු වැසියාට කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගැනේ

වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගත් කොරෝනා අසාදිත පුද්ගලයාගේ වෛරස සාම්පල තුල පවතින ජානමය අනුක්‍රමය දකුණු ඕස්ට්‍රේලියානු නිරෝධායන හෝටලයක සිටි පුද්ගලයකුගෙන් ලබාගත් වෛරස සාම්පල වල ජානමය අනුක්‍රමය සමග සමාන වන බව තහවුරු වී තිබේ.

30 හැවිරිදි වියේ පසුවන මෙම වික්ටෝරියානු ප්‍රාන්ත වැසියා හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පසුගිය අඟහරුවාදා හඳුනා ගැනින.

මෙම පුද්ගලයා විදේශගතව සිට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර කොරෝනා වෛරසයට ධනාත්මක වනවිට ඔහු ඇඩිලේඩ් හි හෝටල් නිරෝධායනය අවසන් කොට සිට ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී ඇත්තේ නිරෝධායන හෝටලයේ සිටින කාලය අතරතුර ඔහු සිටි කාමරයට යාබද කාමරයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු සිට ඇති බවයි. මේ අනුව එම පුද්ගලයා හරහා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවට සාක්ෂි හමු වී තිබේ.

මේ වනතෙක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයකු හමු වී නොමැති නමුත් මෙල්බර්න් නගරයේ, බටහිර මෙල්බර්න්හි සහ උතුරු මෙල්බර්න් හි ස්ථාන කිහිපයකට මෙම පුද්ගලයා ගොස් ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley සඳහන් කොට සිටින්නේ QR කේත මගින් නිසි වාර්තා තබාගැනීමට ඇතැම් ස්ථාන අපොහොසත් වීම මත contact tracing කටයුතු සඳහා දැඩි බාධා මතුව ඇති බවයි.

එමෙන්ම මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයන්හි ගුණාත්මක බව සඳහා නිසි වාර්තා තබාගැනීම අනිවාර්ය අතර යම් ස්ථානයකට යාමේදී QR කේත හරහා Check in වීමට වගබලාගන්නා ලෙසද ඔහු ජනතාවට අවධාරණය කොට සිටී.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් වල අවදානම් ප්‍රදේශ වලින් පැමිණෙන පිරිසට දකුණු ඔස්ට්‍රේලියාව තහනම්

මෙල්බර්න් හි මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇති කොරෝනා අවදානම් සහිත ස්ථාන සඳහා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අදාළ අවදානම් සහිත ස්ථාන වෙත ගිය පුද්ගලයින් හට දකුණු ඔස්ට්‍රේලියාවට ඇතුල් වීම එම ප්‍රාන්තය තහනම් කොට තිබේ.

ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Grant Stevens සඳහන් කොට සිටින්නේ එම ස්ථානයන් වෙත ගිය, නමුත් මේ වනවිට දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති පුද්ගලයින් වහාම දින 14ක හුදකලා කාලසීමාවකට යටත් වන ලෙසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මේ වනවිට පවතින අවිනිශ්චිත තත්වය මත, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිට මෙම ප්‍රදේශ සඳහා සංචාරය කිරීමට හෝ එම ප්‍රදේශ වලින් නැවත දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිනීමට බලාපොරොත්තු වන පිරිස ඔවුනගේ සංචාර සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

අයවැයෙන්, ඕස්ට්‍රේලියානු නව සංක්‍රමණිකයින්ට සුබසාධන ලබාදීම ප්‍රමාද කිරීමේ තීරණය කුරිරැ බවට චෝදනා

ඕස්ට්‍රේලියානු නව සංක්‍රමණිකයින් සඳහා රජය සහාය දක්වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කොට සිටී. කෙසේ නමුත්,මෙවර අයවැය ප්‍රකාශයට පත් කරමින් Josh Frydenberg සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණිකයින් හට රජයෙන් ලබාදෙන සුබසාධන ලබාගැනීම සඳහා සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් බලාසිටීමට සිදු වන බවයි.

ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචිය ලබාගන්නා ඕනෑම පුද්ගලයකු හට ඕස්ට්‍රේලියානු රජයෙන් ලබාදෙන සුබසාධන දීමනා ලබාගැනීම සඳහා වසර ගණනක් බලාසිටීමට සිදු වේ. මේ ඔස්සේ වසර 5ක කාලයක් තුල ඩොලර් මිලියන 671ක් ඉතිරි කිරීම ඕස්ට්‍රේලියානු රජයේ අරමුණ වේ.

මේ වනවිට පවතින තත්වය මත මෙම සුබසාධන දීමනා ලබාගැනීම සඳහා, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගන්නන්ගේ තත්වය සහ වීසා බලපත් මත රඳා පවතින අතර නව තීරණය මත මෙම සුබසාධන ලබාගැනීමට වසර 4ක පමණ කාලයක් බලාසිටීමට සිදු වේ.

මෙම තීරණය සම්බන්ධයෙන් සමාජ සේවා සඳහා වන A-C-T Council හි ප්‍රතිපත්ති කළමනාකරු වන Craig Wallace දැඩි විරෝධය පලකරන අතර ඔහු සඳහන් කොට සිටින්නේ මෙය අතිශය අසාධාරණ සහ අතිශය කුරිරු තීරණයක් වන බවයි. එමෙන්ම පුද්ගලයින්ට ජීවත් වීමට ඔස්ට්‍රේලියාව යහපත් රටක් බවට පත්කිරීම ඉතා වැදගත් වන බවද ඔහු පෙන්වා දෙයි.

මීට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා සඳහන් කොට සිටින්නේ රජය මෙම පිරිස සඳහා සහාය ලබාදෙන අතර ශුද්ධ විදේශ සංක්‍රමණ නැවත ගොඩනැන්වීමටද කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරන මධ්‍යස්ථාන තුල නොසන්සුන්තා

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2386 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංක්‍යාව 134,913ක් දක්වා ඉහල ගොස් තිබේ.

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සංචරණ සීමා අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් විශේෂ අවසර හිමි වේ.

එමෙන්ම මැයි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම නීති හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා නිවසින් පිටතට යන පිරිස සඳහාද විශේෂ ක්‍රමවේදයක් හඳුන්වාදීමට අදාල බලධාරීන් කටයුතු කොට තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව තුල එන්නත්කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වන නමුත් මෙලෙස එන්නත් ලබාදෙන ස්ථාන කිහිපයක නොසන්සුන්තා ඇති වූ බව වාර්තා වේ. අදාල කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා දිගු වේලාවක් බලාසිටීමට සිදු වීම සහ නැවත හරවා යැවීම වැනි කටයුතු එම ස්ථාන වල සිදු වන බව එන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටින පිරිස චෝදනා එල්ල කොට තිබේ.

එමෙන්ම පවතින තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කොට සිටින්නේ මේ වනවිටත් මෙම වෛරසය ජනතාව අතර ශීග්ර ලෙස ව්‍යාප්තවෙමින් පවතින අතර ඉදිරියේදී කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාමක් බලාපොරොත්තු විය හැකි බවයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ ගනන තවත් 4000කින් ඉහලට

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංක්‍යාවේ ඉහල යාමක් පෙන්නුම් කොට ඇති අතර එරටින් වරට වන සමස්ත මරණ සංක්‍යාව මේ වනවිට 250.000 ඉක්මවා තිබේ.

එරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් සංක්‍යාවද 348,000 ඉක්මවා ඇති අතර දෛනික මරණ සංක්‍යාව 4,000 කින් ඉහල ගොස් තිබේ.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට ඉන්දියානුවන් මිලියන 23කට අධික පිරිසකට කොරෝනා වෛරසය අසාදනය වී තිබේ.

ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර ගැටුම් වලින් ගාසා තීරයේ 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

ඊයේ දිනයේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා සිදු කල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ මහල් නිවාස සහ ගොඩනැගිලි වලට දැඩි හානි සිදුව තිබේ.

මෙම ප්‍රහාර මගින් ගාසා තීරයේ සිටි හමාස් සටන්කාමීන් 16 දෙනෙකු පමණ ඝාතනය කල අතර මෙම ගැටුම ආරම්භයේ සිට හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර 1000කට වැඩි සංක්‍යාවක් එල්ලේ කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර ජූලි 30

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර පැවැත්වෙන දිනය ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට තිබේ.

ඒ අනුව එම තරඟාවලිය මෙම වසරේ ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියර කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් මසදී පැවැත්වින


Share
Published 13 May 2021 11:53am
By Nipuna Dodangoda

Share this with family and friends