ඕස්ට්‍රේලියාවෙන් ඇෆ්ගන් වැසියන්ට සරණාගත වීසා 3,000ක් (SBS සිංහල/ වාර්තා)

ඇෆ්නිගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානය විසින් අල්ලා ගැනීම හේතුවෙන් සිය මානුෂීය වීසා වැඩසටහන් වෙනස් කිරීමට තීරණය කොට ඇති රටවල් අතරට ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාවද එක්ව තිබේ.

Hundreds of people at the international airport in Kabul, Afghanistan, Monday, Aug. 16, 2021.

Hundreds of people at the international airport in Kabul, Afghanistan, Monday, Aug. 16, 2021. Source: AP

 


Highlights

  • ඕස්ට්‍රේලියාවෙන් මෙම මුල්‍ය වර්ෂය සඳහා ඇෆ්ගන් වැසියන් හට සරණාගත වීසා 3,000ක්
  • බ්‍රිතාන්‍යය නැවත පදිංචි කිරීමේ යෝජනා ක්‍රමය ඔස්සේ ඇෆ්ගන් වැසියන් හට ස්ථාන 20,000ක්
  • අවදානම් සහිත ඇෆ්ගන් ජාතිකයින් 20,000 කට වැඩි පිරිසක් නැවත පදිංචි කිරීමට කැනඩාවෙන් සැලසුම්
  • ඇෆ්ගනිස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හට විසඳුම් සෙවීමට යුරෝපා සංගමය දැඩි උත්සාහයක

ඇෆ්නිගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානය අල්ලා ගැනීම හේතුවෙන් ලොව බොහෝ රටවල් ඇෆ්ගනිස්ථානය තුල සිටින සිය පුරවැසියන් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටී.

දින කිහිපයක සිට ඇෆ්ගනිස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් පවතින අතර එරට මානුෂීය වශයෙන් දැඩි ව්‍යසනකාරී තත්වයක් උද්ගතව තිබේ.

මෙම තත්වය මත දැඩි පීඩාවට සහ බියට පත්ව ඇති ඇෆ්ගන් වැසියන් සරණාගතයින් වශයෙන් භාරගන්නා ලෙසට මේ වනවිට බටහිර රටවල් වලට දැඩි පීඩන එල්ල වන අතර ඇතැම් රටවල් මේ වනවිටත් එම පිරිස භාරගැනීම සඳහා විශේෂ මානුෂීය වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබේ.

ඕස්ට්‍රේලියාවේ තීරණය

ඕස්ට්‍රේලියාව මෙම මුල්‍ය වර්ෂය සඳහා ඇෆ්ගන් වැසියන් හට සරණාගත වීසා 3,000ක් ලබාදීමට තීරණය කල බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටී.

මෙම සරණාගත වීසා 3,000 සාමාන්‍යයෙන් මෙම මුල්‍ය වර්ෂය සඳහා නිර්දේශිත මානුෂීය වීසා වැඩසටහනේ එන ස්ථාන 13,750 අතරට ඇතුලත් වන අතර එය විශේෂ මානුෂීය වීසා වැඩසටහනක් නොවන බව වාර්තා වේ. කෙසේ නමුත් සරණාගත වීසා අයදුම් කරන ඇෆ්ගන් වැසියන් හට මෙහිදී ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතව තිබේ.

කැනඩාව සහ බ්‍රිතාන්‍යය ඉදිරි වසර කිහිපය තුලදී මානුෂීය වැඩසටහන ඔස්සේ ඇෆ්ගන් වැසියන් 20,000ක් පමණ ගෙන්වීමට බලාපොරොත්තු වන බව සඳහන් කලද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එවැනි ආකාරයේ සැලැස්මක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට නොමැති බවයි.

එමෙන්ම මේ වනවිට පවතින දේ සහ තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.
Prime Minister Scott Morrison.
Prime Minister Scott Morrison. Source: AAP
වසර 20ක් තිස්සේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සේවය කළ සියලුම ඇෆ්ගනිස්ථාන කාර්යමණ්ඩල සාමාජිකයින් බේරාගැනීමට නොහැකි බව අගමැතිවරයා පසුගිය අඟහරුවාදා දින පැවසීය.
2013 වසරේ සිට ඕස්ට්‍රේලියානු රජය මානුෂීය වීසා වැඩසටහන ඔස්සේ ඇෆ්ගන් වැසියන් 8,500 ක් සඳහා සරණාගත වීසා ලබා දී තිබේ.

එමෙන්ම ඕස්ට්‍රේලියානු රජයේ වාර්තා පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියානුවන් සමග ඇෆ්ගනිස්ථානයේ සේවය කල ඇෆ්ගන් වැසියන් 400 දෙනෙකු පමණ සිය පවුල් සාමාජිකයින්ද සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ තීරණය

බ්‍රිතාන්‍යය තුල ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ යෝජනා ක්‍රමය ස්ථාන 5,000 කින් ආරම්භ කෙරෙන අතර එය ක්‍රමානුකූලව ස්ථාන 20,000 දක්වා ඉහල දැමීමට නියමිතව තිබේ.

මෙම නැවත පදිංචි කිරීමේ යෝජනා ක්‍රමය ඉදිරි වසර සඳහා තවදුරටත් සමාලෝචනය කෙරෙන අතර දිගු කාලීනව ස්ථාන 20,000 ක් පමණ වනු ඇති බව ස්වදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන කාන්තාවන්, දරුවන් ඇතුළු දැඩි අවදානමක් පවතින පිරිස සඳහා දින නියමයකින් තොරව බ්‍රිතාන්‍ය තුල රැඳී සිටීමට අවසර ලබාදෙන බව එම රජය පවසයි.

2014 වසරේ සිට බ්‍රිතාන්‍යය, සිරියානු සරණාගතයින් 20,000ක් පමණ නැවත පදිංචි කිරීමේ යෝජනා ක්‍රමය හරහා බ්‍රිතාන්‍යයට ගෙන ඇති අතර මෙම යෝජනා ක්‍රමයද ඊට සමානව ක්‍රියාත්මක කෙරේ.

බ්‍රිතාන්‍යයට, අවශ්‍යතා සහිත පිරිස ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අභිමානවත් ඉතිහාසයක් පවතින අතර ජීවිත බිය හේතුවෙන් සිය නිවෙස් අතහැර පලා යන පිරිස අත් නොහරින බවද ස්වදේශ කටයුතු ලේකම් Priti Patel පවසයි.
بوریس جانسون نخست وزیر انگلیس
بوریس جانسون نخست وزیر انگلیس Source: AAP
මේ වනවිට හිටපු ඇෆ්ගන් සේවකයින් 2,000ක් පමණ සිය පවුල්ද සමග බ්‍රිතාන්‍යයට පැමිණ ඇති අතර මෙම වසර අවසානයේදී එම සංක්‍යාව 5,000 දක්වා ඉහල යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මේ අතර ඇෆ්ගනිස්ථාන පරිවර්‍තකයින් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් හට උපකාර සිදු කරන ලෙසට ඕස්ට්‍රේලියාවට සහ බ්‍රිතාන්‍යයට වන ඉල්ලීම් දැඩි ලෙස ඉහල ගොස් තිබේ.

කැනඩාවේ තීරණය

කාන්තාවන්, මානව හිමිකම් සේවකයින්, LGBTIQ+ ප්‍රජාවේ සාමාජිකයින් සහ වාර්තාකරුවන් ඇතුළු අවදානම් සහිත ඇෆ්ගන් ජාතිකයින් 20,000 කට වැඩි සංඛ්‍යාවක් නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව කැනඩාව පවසයි.
ඇෆ්ගනිස්ථාන භාෂා පරිවර්‍තකයින් / තානාපති කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස නැවත පදිංචි කිරීම සඳහා දැනට පවතින වැඩ සටහනකට අමතරව ක්‍රියා කිරීමට උත්සාහ ගත් බව ආගමන අමාත්‍ය Marco Mendicino සඳහන් කොට සිටී.

කැනඩාවේ මෙම නව සැලැස්ම මගින් ඇෆ්ගනිස්ථානය හැර යාමට කැමති පිරිස මෙන්ම මේ වනවිටත් අසල්වැසි රටවල සිටින පිරිස ආවරණය කෙරේ.

කෙසේ නමුත් මෙම වැඩසටහනේ, වැඩසටහන් කාලසටහන තවමත් සකසා නොමැති බව වාර්තා වේ.

ඇමරිකාවේ, නවසීලන්තයේ සහ යුරෝපයේ තීරණය

ඇමරිකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සමග ඇෆ්ගනිස්ථානයට සිය හමුදා යෙදවූ රටවල්, යෝජනා ක්‍රම ප්‍රකාශයට පත් නොකොට ඇෆ්ගන් වැසියන් සිය රටවල් තුල නැවත පදිංචි කිරීමට පොරොන්දු වී තිබේ.
Тhousands of Afghans trapped by the sudden Taliban takeover
Тhousands of Afghans trapped by the sudden Taliban takeover Source: AP
ඇෆ්ගනිස්ථානයේ අවදානමට ලක්වූ පිරිසට සුරක්ෂිත ගුවන් ගමන් සඳහා ඇමරිකාව පසුගිය මසදී 'Operation Allies Refuge’ නම් මෙහෙයුමක් දියත් කළේය.

මෙම මෙහෙයුම මගින් මේ වනවිට ඇෆ්ගන් වැසියන් 2,000ක් පමණ ගෙන්වාගෙන ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Ned Price සඳහන් කොට සිටි.

නවසීලන්ත හමුදා සමග කටයුතු කල ඇෆ්ගන් වැසියන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් එරටින් ඉවත් කරගැනීමට කටයුතු කරන බව නවසීලන්ත බලධාරීන් පසුගිය සඳුදා සඳහන් කළේය. එමෙන්ම ඔවුන් පැවසුවේ මේ වනවිට සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් 200 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි.

ප්‍රංශය, පෝලන්තය සහ ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක්ද මේ වනවිට ඇෆ්ගන් වැසියන් එරටින් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටී.

මේ අතර සිය ඇෆ්ගනිස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා විසඳුම් සෙවීමට යුරෝපා සංගමය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර මෙම ඇෆ්ගන් වැසියන් හට වීසා ලබාදෙන ලෙස සිය සාමාජික රටවල් සඳහා පවසන බවද වාර්තා වේ.

With AFP, Reuters.




Share
Published 19 August 2021 12:47pm
Updated 12 August 2022 2:59pm
By SBS News, Nipuna Dodangoda
Source: SBS


Share this with family and friends