2021/22 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු අය වැයෙන් ඔබට හිමිවන සහ අහිමිවන දේවල් මෙන්න (SBS සිංහල/වාර්තා)

කොරෝනා වසංගතයෙන් පසුව ඉදිරිපත් කෙරුණු දෙවැනි ඔස්ට්‍රේලියානු අය වැය ලෙස මෙය හැඳින්වේ.

These are the winners and losers from the 2021 federal budget.

These are the winners and losers from the 2021 federal budget. Source: SBS News

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය ඊයේ (11/05) පස්වරුවේදී භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් ඉදිරිපත් කරන ලදී.

කොරෝනා වසංගතයෙන් පසුව ඉදිරිපත් කෙරුණු දෙවැනි ඔස්ට්‍රේලියානු අය වැය ලෙස මෙය හැඳින්වේ.

2021/22 අය වැය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනතාවට බලපාන අයුරු මෙම ලිපියෙන් දැක්වෙයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


හිමිවීම්

බදු ගෙවන්නන්

අඩු සහ මධ්‍යම ආදායම් ලබන්නන්ට හිමිවන ආදායම් බදු සහනය තවත් වසරක් ක්‍රියාත්මක වේ.

එය එළඹෙන ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද තවත් මාස 12 කින් දීර්ග කර තිබේ.

ඔබේ වාර්ෂික ආදායමට අනුව ඔබට හිමිවන ආදායම් බදු සහනය පහත පරිදි වේ.

Tax Cuts
Source: SBS Sinhala


Aged care ක්ෂේත්‍රය

පසුගිය මාර්තු මාසයේදී Aged care ක්ෂේත්‍රයට ඩොලර් මිලියන 452 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පොරොන්දුවූ අතර ඒ සමග සම්පූර්ණ ආර්ථික පැකේජය ඩොලර් බිලියන 17.7 කි.

නව home care පැකේජ 80,000 ක් සඳහා මෙන්ම ඉදිරිපෙළ සත්කාරක කාර්ය මණ්ඩලය සමඟ Aged care මධ්‍යස්ථාන වල සිටින්නන්ට ගත කරන කාලය වැඩි කිරීම සහ personal carers 33,000 කට වැඩි පිරිසකට පුහුණුව ලබා දීම වැනි කටයුතු සඳහා එම මුදල් යෙදවේ.

Childcare ක්ෂේත්‍රය

ඉදිරි වසර තුන සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Childcare ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 1.7 ක් මුදලක් වෙන් කර තිබේ.

Childcare Subsidy වැඩසටහනේ සංශෝධන සඳහා වසරකට ඩොලර් මිලියන 566 ක පමණ මුදලක් වෙන් කෙරෙන අතර එය 2022 ජූලි සිට ක්‍රියාත්මක වීම ඇරඹේ.

එම සංශෝධන වලට අනුව ඩොලර් $189,390 කට වඩා වැඩි වාර්ෂික ආදායමක් සහිත පවුල් සඳහා වන $10,560 Childcare වාර්ෂික සීමාව අහෝසි කෙරේ.

childcare මධ්‍යස්ථානයකට යන එක් දරුවෙකු ඔබට සිටී නම් ඔබට ලැබෙන childcare සහනය 65% ම පවතින නමුත් ඔබගේ ළමුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් childcare සේවාව ලබාගන්නවා නම් සෑම දරුවෙකුටම 95% ක සහනයක් හිමිවේ.

කාන්තාවන් සඳහා

කාන්තා සෞඛ්‍ය සඳහා ඩොලර් මිලියන 354 ක මුදලක් මෙවර අය වැයෙන් මධ්‍යම රජය වෙන් කර ඇත.

ගැබ්ගෙල සහ පියයුරු පිළිකා පරීක්ෂා කිරීමේ වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක් ඊට ඇතුළත් ය.

ඒ අතරට මීට පෙර වයස අවුරුදු 50 සිට 74 දක්වා කාන්තාවන් සඳහා පමණක් තිබූ නොමිලේ සපයන mammogram සේවාව දැන් වයස අවුරුදු 40 ත් 74 ත් අතර කාන්තාවන් සඳහා ද දීර්ග කර තිබේ.

ඊට අමතරව ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් සඳහා මානසික අවපීඩන සේවා සඳහා ඩොලර් මිලියන 47 කට වැඩි මුදලක් යොදවනු ලැබේ.

IVF කාලය තුළ කළල පරීක්ෂා කිරීම සඳහා ඩොලර් මිලියන 95.9 ක් ද pre-term birth rates හෙවත් නියමිත කලට පෙර සිදුවන උපත් අනුපාතය අඩු කිරීම සඳහා ඩොලර් මිලියන 13.7 ක් ද වෙන් කර තිබේ.

එහිදී ස්වදේශික ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

Eating disorders හෙවත් ආහාර ගැනීමේ අක්‍රමිකතා අවම කිරීම සඳහා වන වැඩසටහන් උදෙසා මධ්‍යම රජය ඩොලර් මිලියන 27 ක් වැය කිරීමට අපේක්ෂා කරන අතර endometriosis සම්බන්ධ අධ්‍යාපනය සහ වේදනා කළමනාකරණ වැඩසටහන් ඇතුළුව අනෙකුත් සෞඛ්‍ය වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 21.6 ක් වැය කරනු ඇත.

මීට අමතරව ගෘහස්ථ හා පවුල් හිංසනය අවම කිරීම සහ ඒවායින් දිවි ගලවා ගත් අයට ආධාර කිරීම සඳහා ඉදිරි සිව් වසර තුළ ඩොලර් මිලියන 998 ක් යොදවන බවටද මධ්‍යම රජය පොරොන්දු වී තිබේ.

එම අරමුදල් මගින් ඉදිරිපෙළ සේවාවන් සහ සංක්‍රමණිකයින්, සරණාගත, ඇබෝර්සජීනියානු සහ ටෝරස් දූපත් වාසී කාන්තාවන් සඳහා වූ විශේෂිත වැඩසටහන් ආවරණය කරයි.

පෙර පාසල්

ඉදිරි සිව් වසර සඳහා පෙර පාසල් ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 1.6 ක් වෙන් කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙම අරමුදල් සම්බන්ධ අවසන් සම්මුතිය ගැනීමට ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ කටයුතු කළ යුතු අතර අවම වශයෙන් සතියකට පැය 15 ක් පමණ මෙයින් ගෙවනු ඇත.

මානසික සෞඛ්‍ය

අතිරේක ඩොලර් බිලියන 2.3 ක් ජාතික මානසික සෞඛ්‍ය හා සියදිවි නසාගැනීම් වැළැක්වීමේ සැලැස්මට ආයෝජනය කෙරෙන අතර එය ප්‍රධාන අංශ පහක් හරහා බෙදා හරිනු ඇත.

නව ඩිජිටල් platform එකක් ඇතුළුව online උපදේශනය, peer සහ සායනික සහාය මෙන්ම විශේෂඥයකුට යොමු කිරීම සඳහා උපදෙස් ලබාදීම් ඇතුළුව මානසික සෞඛ්‍ය ප්‍රතිකාර වලදී මුල් කාලීන මැදිහත්වීම සඳහා ඩොලර් මිලියන 250 ක් පමණ වෙන් කර ඇත.

තවත් ඩොලර් මිලියන 298 ක් සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සෘජුවම ලබා දෙයි.

වැඩිහිටියන්, තරුණයින් සහ ළමුන් සඳහා වන මානසික සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල නව ජාතික පද්ධතියක් සඳහා ඩොලර් බිලියන 1.4 ක් වැය කරමින් මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කළ මුදල් වලින් විශාලතම කොටස ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනු ඇත.

අවදානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානුවන්ට, විශේෂයෙන් ස්වදේශික ජනයාට ආධාර කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 107 ක් වැය කෙරේ.

අවසාන වශයෙන් මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ශ්‍රම බලකාය වැඩි කිරීම සඳහා රජය ඩොලර් මිලියන 202 ක් යොදවා, හෙදියන්, මනෝ විද්‍යාඥයින් සහ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා ශිෂ්‍යත්ව හා සායනික පුහුණුව ලබා දෙනු ඇත.

නව ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ කාර්යාලයක් ද පිහිටුවන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg නිවේදනය කළේය.

ව්‍යාපාර

පසුගිය වසරේ business write-off perks හෙවත් ව්‍යාපාර අත්හිටුවීමේ අවස්ථාව තවත් මාස 12 කින් දීර්ග කෙරේ.

එනම් ඩොලර් බිලියන 5 ක් දක්වා පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලට පසුගිය අයවැය සහ 2023 ජුනි 30 අතර මිලදී ගත් රාජකාරී වාහනයක් හෝ උපකරණ වැනි සුදුසුකම් ලත් වත්කමක සම්පූර්ණ වටිනාකම කපා හැරීමට මෙහිදී හැකි වේ.

ගොවීන්

soil testing හෙවත් පාංශු පරීක්ෂණයේ ප්‍රතිඵල බෙදා ගන්නා ගොවීන් සඳහා වට්ටම් ඇතුළත් National Soil Strategy හෙවත් ජාතික පාංශු උපාය මාර්ගයක් සඳහා ඩොලර් මිලියන 200 ක් වෙන් කර තිබේ.

එමෙන්ම පළිබෝධකයින් සහ රෝග පැතිරීම වැළැක්වීම උදෙසා ජෛව ආරක්ෂණ පියවර සඳහා ඩොලර් මිලියන 370 ක් වෙන් කර ඇත.

පශු සම්පත් හා පාංශු කළමනාකරණය තුළින් කාබන් විමෝචනය අවම කිරීම සඳහා රජය ඩොලර් මිලියන 60 කට ආසන්න මුදලක් වැය කරනු ඇත.

Centrelink වෙතින් Farm Household Allowance එක ලබා ගන්නා ගොවීන් 5,000 කට වැඩි ප්‍රමාණයක් විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 15 කට ආසන්න ණය ප්‍රමාණයක් ද මේ මගින් නිදහස් කරනු ඇත.

එන්නත් වැඩසටහන්

ඉදිරි වසර පහ තුළ ඔස්ට්‍රේලියාවේ එන්නත් ක්‍රමෝපාය සඳහා අමතර ඩොලර් බිලියන 1.9 ක් වැය කෙරේ.

ඔස්ට්‍රේලියාවේ mRNA එන්නත් නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට මුදල් සංචිතයක් වෙන් කර ඇති බවද මධ්‍යම රජය සනාථ කළේය.

දැනට mRNA එන්නත් ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය නොකෙරේ.

වානිජමය සංවේදීතාවන් නිසා mRNA  එන්නත් නිෂ්පාදනය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කොපමණ අරමුදල් සපයනු ඇත්දැයි මෙවර අයවැය ලේඛනයේ සඳහන් නොවේ.
අහිමිවීම්

සංක්‍රමණික ක්ෂේත්‍රය

සංක්‍රමණිකයින් සඳහා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ලබන වසරේ මැද බාගය වනතෙක් වසා දැමෙනු ඇත.

මේ වසරේ ජුනි මාසය වන විට ශුද්ධ විදේශ සංක්‍රමණ 97,000 කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේ අයවැයෙන් පුරෝකථනය කළ පුද්ගලයින් 72,000 ට වඩා මෙය විශාල අඩුවීමකි.

ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීම හේතුවෙන් 2021-22 අතර කාලය තුළ තවත් 77,000 ක සංක්‍රමණ පහත වැටෙනු ඇත.

නමුත් 2024-25 දී එය 235,000 දක්වා ඉහළ යනු ඇතැයි මධ්‍යම රජයේ අයවැය පුරෝකථනය කරයි.

විශ්ව විද්‍යාල

ඔස්ට්‍රේලියානු දේශසීමා නැවත විවෘත කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් මත යැපෙන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අඛණ්ඩව ආර්ථික ගැටලු වලට මුහුණ දෙනු ඇත.

මෙවර අය වැයෙන් විශ්ව විද්‍යාල සඳහා නිශ්චිත අරමුදල් වෙන් කර නොමැති හේතුවෙන් එම අර්බුදය වඩාත් තීව්‍ර වනු ඇත.

ඔස්ට්‍රේලියාවේ බහුතර ජනගහනයකට කොරෝනා එන්නත ලබා දුන් පසුව දේශ සීමා විවෘත කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

ස්ථිර පදිංචිය ලබා අලුතින් පැමිණි පුද්ගලයින්

ස්ථිර පදිංචිය ලබා ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන පුද්ගලයින්ට ලැබෙන බොහෝ සුබ සාධන දීමනා ලබාගැනීමට වසර 4 ක් ගතවනු ඇත.

ඒ සඳහා වන නව නීතිය 2022 ජනවාරි 1 වන දින ආරම්භ වන අතර එයින් වසර පහක් තුළ ඩොලර් මිලියන 671 ක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

පුනර්ජනනීය බලශක්තිය

Northern Territory හි Katherine සහ Darwin අතර විශාල බැටරි හා microgrid ව්‍යාපෘතියක් සඳහා ලබන වසර තුළ ඩොලර් මිලියන 30 ක් වෙන් කිරීම හැරෙන්නට පුනර්ජනනීය බලශක්තිය සඳහා මෙවර අයවැයෙන් සෘජුව නව අරමුදල් වෙන් කිරීමක් සිදුකර නොමැත.

මධ්‍යම රජය බලශක්තිය සඳහා සිදුකරන වියදම් බොහෝමයක් කාබන් විමෝචනය අවම කරන තාක්ෂණයන් වෙත යොමු කර ඇත.

Share
Published 12 May 2021 12:45pm
Updated 12 August 2022 3:04pm
By Evan Young, Madhura Seneviratne


Share this with family and friends