Latest

පිහි ළග තබා ගතහොත් ඔබට සිර දඩුවම් ලැබේවි ද? ඕස්ට්‍රේලියාව පුරා පවතින පිහි භාවිතය සම්බ්න්ධ නීති විමර්ශනය කෙරේ.

සිඩ්නි හි සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවෙන් පසු පිහි ළඟ තබා ගැනීම පිළිබඳ දැඩි ස්ථාවරයක් ක්‍රියාත්මක විය හැකිය. මෙම නීති එක් එක් ප්‍රාන්ත සහ ප්‍රදේශ වලට වෙනස්ව බලපාන බව වාර්තා වේ.

Three police officers standing outside an emergency scene facing away from the camera

NSW Premier Chris Minns has said he would not rule out strengthening knife laws after three stabbing incidents. Source: Getty / David Gray / AFP

සිඩ්නි හි පිහි ඇනුම් සිදුවීම් තුනකට පසුව, NSW ප්‍රාන්තයේ පිහි භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීම පිළිබඳ අවධානය යොමු ව තිබේ.

අප්‍රේල් 15 වනදා සිඩ්නි හි වේක්ලි ප්‍රාදේශිය ප්‍රදේශයේ දේවස්ථානයක ප්‍රහාරයකින් පූජකවරුන් දෙදෙනෙකු රෝහල් ගත කළ අතර අප්‍රේල් 13 සෙනසුරාදා බොන්ඩායිි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

අප්‍රෙල් 19 සිකුරාදා, ඩූන්සයිඩ් හි (Doonside) පාසලක් අසල ප්‍රහාරයකින් 18 හැවිරිදි තරුණයෙකු මිය ගොස් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබීය.

මේ වන විට, පිහි භාවිතය පිළිබඳ නීති තර කිරීම තමන් ප්‍රතික්ෂේප නොකරන බව NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් පවසා ඇත.

"එය වහා පැතිරී යා හැකි තත්වයක් වන අතර මට එය හංගන්නට අවශ්‍යතාවයක් නෑ," යනුවෙන් මින්ස් Sydney radio 2GB වෙත පැවසීය.
“අපි මාස හයකට පමණ පෙර, NSW පරිපූරක වෛද්‍ය ස්ටීවන් ටගර්ගේ දරුණු මරණයෙන් පසු පිහි භාවිතය සහ ළග තබා ගැනීම පිළිබඳ නීති දැඩි කළා, මම දැන් ඒ තත්ත්වය වෙනස් කිරීමට සූදානම් නෑ'.

"පැහැදිලිවම, සාහසික ලෙස මිනිසුන් මරා දමන විට සහ පුද්ගලයෙක් පිහියකින් ප්‍රහාර එල්ල කරන විට, එය නොදුටුවා සේ සිටීම වගකීම් විරහිත ක්‍රියාවක්."

ඕස්ට්‍රේලියාව තුළ පිහි ළග තබා ගැනීම සම්බන්ධයෙන් නීති සහ දඬුවම් මොනවාද?

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

NSW රජය මෑතකදී ප්‍රසිද්ධ ස්ථානයක පිහියක් ළඟ තබා ගැනීම හෝ අතැතිව සිටීම සඳහා කෙනෙකුට ලැබිය හැකි උපරිම දඬුවම් දෙගුණයකින් ඉහළ නැංවූවා.

අපරාධ පනත 2023 ජුනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නීති සම්පාදනය යටතේ සංශෝධනය කරන ලදී. එහිදී පොදු ස්ථානයක හෝ පාසලක පිහියක් ළග තබා ගැනීම සහ පොදු ස්ථානයක හෝ පාසලක පිහියක් අතැතිව සිටීම වැනි වැරදි පනතට ඇතුළත් කර තිබේ.

එම වැරදි සඳහා උපරිම සිර දඬුවම වසර දෙකේ සිට හතර දක්වා වැඩි විය. එමෙන් ම පිහියක් ළඟ තබා ගැනීමේ උපරිම දඩය ඩොලර් 2200 සිට ඩොලර් 4400 දක්වා සහ පිහියක් භාවිතා කිරීම සඳහා දඩය ඩොලර් 11,000 දක්වා ඉහළ දැමීය.

ක්වීන්ස්ලන්තය

පෙබරවාරි මාසයේදී, ක්වීන්ස්ලන්තයේ සාප්පු මධ්‍යස්ථානයකදී කාන්තාවකට පිහියෙන් ඇනීමෙන් පසු වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට පිහි විකිණීම තහනම් කරමින් නව නීති සම්මත කරනු ලැබුවා.

නව නීති මගින් පිහි, ජෙල් බ්ලාස්ටර් ඇතුළු ගිනි අවි වල අනුරූ සහ උල්, පොරෝ, කඩු වැනි තියුණු දාර සහිත ආයුධ බාල වයස්කරුවන්ට විකිණීම වරදක් බවට පත් කිරීම සිදු විය.

පුද්ගලයෙකුට සාධාරණ නිදහසට කරුණක් නොමැති නම්, පොදු ස්ථානයක හෝ පාසලක පිහියක් ළඟ තබා ගැනීම නීත්‍යානුකූල නොවන බව ප්‍රකාශයට පත් කෙරුනා.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ ප්‍රසිද්ධ ස්ථානයක පිහියක් රැගෙන යාමේදී අත්අඩංගුවට පත් පුද්ගලයෙකුට ඩොලර් 5750 දක්වා දඩයක් හෝ වසරක සිර දඬුවමක් නියම වන බවත් වාර්තා වුණා.

වික්ටෝරියා

වික්ටෝරියා හි වෙසෙන ඔබට නීත්‍යානුකූල හේතුවක් නොමැති නම්, සෙන්ටිමීටර 10 ට අඩු තලයක් සහිත utility knives හෙවත් එදිනෙදා භාවිතා කරන පිහිි හැර අනෙකුත් පිහි ප්‍රසිද්ධියේ රැගෙන යා නොහැක.

මෙම නීත්‍යානුකූල ව්‍යතිරේක හෙවත් ලෙස රැකියාව සඳහා, මසුන් ඇල්ලීම වැනි විනෝදාස්වාදය සඳහා, හෝ ප්‍රදර්ශනය සඳහා, පිහියක් රැගෙන යාම නම් කර ඇත. ආත්මාරක්ෂාව සදහා පිහි ළග තබා ගැනීම නීත්‍යානුකූල නිදහසට කරුණක් නොවන බව පෙන්වා දෙනවා.

පිහියක් ළග තබාගත් කෙනෙක් පොලීසිය භාරයට ගතහොත් අවුරුද්දක කාලයක් සිර දඩුවම් විදින්නට සිදු වනු ඇත. එමෙන්ම වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙකුට පිහියක් විකිණීමත් වරදක් ලෙස පෙන්වා දී ඇත. එහිදී ඩොලර් 46,154 දක්වා දඩයකට හෝ වසර දෙකක සිර දඬුවමකට කෙනෙකු යටත් විය හැකිය.


ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිය

ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිි අපරාධ පනත යටතේ, සාධාරණ හේතුවක් නොමැතිව පොදු ස්ථානයක හෝ පාසලක පිහියක් ළඟ තබා ගැනීම නීත්‍යානුකූල නොවේ.

සාධාරණ හේතු ලෙස, රැකියාව සඳහා පිහියක් අවශ්‍ය වීම, ආහාර පිළියෙළ කිරීම, නීත්‍යානුකූල වන විනෝදාස්වාදය සම්බන්ධ ක්‍රියාවකට හෝ ක්‍රීඩාවකට සහභාගී වීම, වෙළඳාම හෝ ප්‍රදර්ශනය සඳහා, නිළ ඇඳුමකට පැළදීම හෝ ආගමික අරමුණු පෙන්වා දී ඇත.

සාධාරණ හේතුවක් නොමැතිව පිහියක් ළඟ තබා ගන්නා පුද්ගලයෙකුට penalty units 10 ක් (පුද්ගලයෙකු සඳහා ඩොලර් 16000) දක්වා දඩයකට හෝ මාස හයක සිර දඬුවමකට මුහුණ දීමට සිදු විය හැකිය.

ටස්මේනියාව

ටස්මේනියාවේ, රැකියාවේදී පිහියක් භාවිතා කරන වෙළඳුන් වැනි නීත්‍යානුකූල අරමුණක් ඔබට නොමැති නම්, පොදු ස්ථානවල පිහි රැගෙන යාම නීති විරෝධී ය.

කෑම්පින් හෝ මසුන් ඇල්ලීම වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා මිනිසුන්ට පිහි රැගෙන යා හැකිය.

විශේෂිත නීත්‍යානුකූල ක්‍රියාකාරකමක් සඳහා අවශ්‍ය නම් මිස පොදු ස්ථානයක සාක්කු පිහියක් හෝ බහු-මෙවලමක් (pocket knife, multi-tool) රැගෙන යාම නීති විරෝධී ය.

පොදු ස්ථානයක පිහියක් රැගෙන යන පුද්ගලයෙකු වසර දෙකක සිර දඬුවමක් හෝ penalty unit 50 ක් (ඩොලර් 9,750) දක්වා දඩයකට යටත් විය හැකිය.

දකුණු ඕස්ට්රේලියාව

දකුණු ඕස්ට්‍රේලියාවේ, බොහෝ පිහි වර්ග තහනම් ආයුධයක් ලෙස සලකනු ලබන අතර නීත්‍යානුකූල අවසරයකින් තොරව පාසලක හෝ පොදු ස්ථානයක පිහි ළග තබා ගත නොහැක.

උපරිම දඬුවම ඩොලර් 2500 ක් හෝ මාස හයක සිර දඬුවමකි.

වයස අවුරුදු 16 ට අඩු අයෙකුට පිහියක් විකිණීම ද වරදක් වන අතර උපරිම දඬුවම ඩොලර් 20,000 දක්වා දඩයක් හෝ වසර දෙකක සිර දඬුවමක් ලෙස නම් කොට ඇත.

බටහිර ඕස්ට්‍රේලියාව

බටහිර ඕස්ට්‍රේලියාවේ, බොහෝ පිහි වර්ග තහනම් හෝ පාලනය කරන ලද ආයුධ ලෙස වර්ග කර ඇති අතර නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ඒවා ළග තබා ගත නොහැක.

මේ ලෙස තහනම් කළ ආයුධයක් ළග තබා ගැනීමට, ප්‍රාන්තයට ගෙන ඒමට, තහනම් ආයුධයක් නිෂ්පාදනය කිරීමට හෝ විකිණීමට උත්සාහ කරන පුද්ගලයෙකුට ඩොලර් 36,000 ක උපරිම දඩයකට හෝ වසර තුනක සිර දඬුවමකට යටත් වීමට සිදු වේ.

පාලනයකට යටත් ආයුධයක් රැගෙන යන හෝ ළඟ තබා ගන්නා පුද්ගලයෙකු වසර දෙකක සිර දඬුවමකට හෝ ඩොලර් 24,000 ක දඩයකට යටත් විය යුතු බව සදහන්ය.

ඕස්ට්‍රේලියානු Northern ටෙරටරිය

ඕස්ට්‍රේලියානු Northern ටෙරටරිය තුළ, නීත්‍යානුකූල හේතුවක් නොමැතිව පොදු ස්ථානයක කඩුවක් හෝ පිහියක් ළඟ තබා ගැනීම නීති විරෝධී ය. 

සාධාරණ නිදහසට කරුණක් නොමැතිව තහනම් ආයුධයක් රැගෙන යාම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට උපරිම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් හෝ penalty unit 400 ක් (ඩොලර් 70,400) ලබා දිය හැකිය.

පාලනයට යටත් ආයුධයක් සඳහා උපරිම දඬුවම වසරක සිර දඬුවමක් හෝ penalty unit 200ක් ($35,200) වේ.
With additional reporting by the Australian Associated Press.

Share
Published 23 April 2024 8:02pm
By Jessica Bahr, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS


Share this with family and friends