ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් යළිත් ලොව ජීවත්වීම සඳහා සුදුසුම නගර 10 අතරට (SBS සිංහල/ වාර්තා)

Melbourne retains top 10 spot in most liveable cities index

Melbourne retains top 10 spot in most liveable cities index. Source: AAP / Luis Ascui

ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර 10 අතරට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙවරත් සමත්වී තිබේ.

නමුත් ඔස්ට්‍රේලියාවේ වෙනත් කිසිදු ප්‍රධාන නගරයක් එම සමත්කම දක්වන්නට මෙවර අසමත් වී ඇත.


Highlights

  • 2022 ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් මෙල්බර්න් නුවරට 10 වන ස්ථානය හිමිවී තිබේ.
  • ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට මෙවර මුල් තැන හිමි කරගැනීමට ඔස්ට්‍රියාවේ අග නුවර වන Vienna නුවර සමත් වී තිබේ.
  • 2021 වසරේදී ඇඩිලේඩ්, පර්ත් සහ බ්‍රිස්බේන් නගර මෙම දර්ශකය තුළ පිළිවෙලින් 3, 6 සහ 10 වැනි ස්ථාන හිමි කරගත්තද මෙවර පිළිවෙලින් 30, 32 සහ 27 ස්ථානවලට ඇද වැටී තිබේ.

මෙල්බර්න් යළිත් ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර 10 අතරට

ලොව පුරා නගර 173 ක් පමණ ඇතුළත් ලෝක ප්‍රකට “The Economist” සඟරාවේ The Economist බුද්ධි ඒකකයේ (EIU) ජීවන දර්ශකයට අනුව වාර්ෂිකව මෙම තේරීම සිදු කරයි.

ඒ අනුව 2022 ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් මෙල්බර්න් නුවරට 10 වන ස්ථානය හිමිවී තිබේ.

ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට 2011 වසරේ පටන් නොකඩවා වසර 7 ක් පුරාවට කිරුළු පැළඳි මෙල්බර්න් නුවර 2018 වසරේදී මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්විය.

එමෙන්ම 2019 වසරේදී ද මෙම දර්ශකයේ මෙල්බර්න් නුවරට හිමිවූයේ දෙවැනි තැනය.
2021 වසරේදී මෙම දර්ශකය තුළ මෙල්බර්න් නුවර 8 වන ස්ථානයට පල්ලම් බැස ඇති අතර මෙවර එය 10 වැනි ස්ථානයට ඇද වැටී තිබේ.

එමෙන්ම 2021 වසරේදී ඇඩිලේඩ්, පර්ත් සහ බ්‍රිස්බේන් නගර මෙම දර්ශකය තුළ පිළිවෙලින් 3, 6 සහ 10 වැනි ස්ථාන හිමි කරගත්තද මෙවර පිළිවෙලින් 30, 32 සහ 27 ස්ථානවලට ඇද වැටී තිබේ.

COVID-19 නීති හා සීමා කිරීම් මන්දගාමීව යළි ඉවත් කිරීම මෙම පහත වැටීම්වලට ප්‍රධාන හේතුවක් වී ඇති බව EIU ජීවන දර්ශකය පවසයි.
Melbourne retains the top 10 spots in the most liveable cities index
People are seen on charter boats along the Yarra River ahead of New Year’s Eve celebrations in Melbourne Source: AAP Image/Con Chronis
2022 ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර

ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට මෙවර මුල් තැන හිමි කරගැනීමට ඔස්ට්‍රියාවේ අග නුවර වන Vienna නුවර සමත් වී තිබේ.

2018 දී මෙල්බර්න් නුවරින් මෙම කිරුළ උදුරාගත් වියානා නුවර ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගරය ලෙස 2018 සහ 2019 දී නොකඩවා වසර දෙකක් කිරුළු පළඳනු ලැබීය.

ඩෙන්මාර්කයේ Copenhagen නුවරත් ස්විට්සර්ලන්තයේ Zurich නුවරත් 2022 වසරේ ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර 10 අතරින් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්ව තිබේ.
2022 වසරේ ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර 10 පහත පරිදි වේ.

  1. Vienna
  2. Copenhagen
  3. Zurich
  4. Calgary
  5. Vancouver
  6. Geneva
  7. Frankfurt
  8. Toronto
  9. Amsterdam
  10. Osaka සහ Melbourne
COVID-19 සීමා කිරීම් කිහිපයක් ඇති නගර අතර මෙම ඉහළම නගර 10 ඇතුළත් වූ බවත් කඩ සාප්පු, පාසල් සහ අවන්හල් නැවත විවෘත කිරීම සහ කොවිඩ් වසංගතය හේතුවෙන් රෝහල්ගත වීම්  අඩුවෙමින් පැවතීමත් ඊට තවත් හේතුවක් වූ බවත් වාර්තා වේ.

ගියවර මෙම දර්ශකයේ පළමු තැනට පත්වූ නවසීලන්තයේ Auckland නුවර මෙවර දර්ශකයේ 34 වැනි ස්ථානයට පහත බැස තිබේ.

නවසීලන්තයේ Auckland නුවරට පැනවූ දැඩි කොවිඩ් නීති හා සීමාවන් ඊට හේතුව බව සඳහන්.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


2022 ලොව ජීවත්වීමට අවම සුදුසුකම් ඇති නගර

මෙවර දර්ශකයට අනුව ලොව ජීවත්වීමට අවම සුදුසුකම් ඇති නගරය ලෙස සිරියාවේ Damascus නුවර දක්වා තිබේ.

ඊට අමතරව නයිජීරියාවේ Lagos සහ ලිබියාවේ Tripoli යන නගර එම ලයිස්තුවේ දෙවැනි හා තෙවැනි තැනට පත්ව ඇත.

2022 වසරේ ලොව ජීවත්වීමට අවම සුදුසුකම් ඇති නගර 10 පහත පරිදි වේ.

  1. Damascus
  2. Lagos
  3. Tripoli
  4. Algiers
  5. Karachi
  6. Port Moresby
  7. Dhaka
  8. Harare
  9. Douala
  10. Tehran


Share
Published 23 June 2022 1:12pm
Updated 23 June 2022 1:15pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends