නිරෝධායනය නොවී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සිදු කෙරෙන සංචාර නවසීලන්තය නවතයි : මැයි 7 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 7 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

New Zealand suspended quarantine free travel with New South Wales

Source: Pixabay / ThierryBEUVE

 

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොරෝනා සීමා
  • නිරෝධායන සහ පුද්ගලයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිදී ඕස්ට්‍රේලියානු රජය අසාර්ථක බවට ලිබරල් පක්ෂයෙන් චෝදනා
  • නිරෝධායනය නොවී නවසීලන්තයෙන් සිදු කෙරෙන සංචාර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට තාවකාලිකව නවතී
  • AstraZeneca එන්නත හා සම්බන්ධ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 5ක් පසුගිය සතියේදී
  • චීනය , ඔස්ට්‍රේලියාව සමග ඇති ආර්ථික සාකච්චා අත්හිටුවයි
  • ශ්‍රී ලංකාවේ රෝහල් ධාරිතාවය ඉක්මවා යාමේ අවධානමක්, බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොරෝනා සීමා

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් නව කොරෝනා ආසදිතයකු හඳුනාගැනීමෙන් අනතුරුව වෛරස ව්‍යාප්තිය නැවත්වීම සඳහා ඊයේ සවස සිට එම ප්‍රාන්තය තුල නව කොරෝනා නීති ක්‍රියාත්මක කෙරේ.

50 වියැති වියේ පසුවන පුද්ගලයකු හට මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වී ඇති අතර ඔහුගේ බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැනින. කෙසේ නමුත් මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව තවමත් හඳුනාගෙන නොමැති අතර මෑතකදී ඇමරිකාවේ සිට නැවත ඔස්ට්‍රේලියාවට පැමිනි සංචාරකයකුගෙන් ලබාගත් දත්තයන් වලට මෙම වෛරස ජාන අනුක්‍රමයන් සමාන වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කොට සිටී.

මෙම අසාදනය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට බලධාරීන් පරීක්ෂණ සිදු කරන අතර මේ වනතෙක් හඳුනා නොගත් පුද්ගලයකු හරහා මෙම වෛරසය සම්ප්‍රේෂණය වන බවට විශ්වාස කරන බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant සඳහන් කොට සිටී.

මේ වනවිට් Greater Sydney, the Blue Mountains, Wollongong සහ Central Coast යන ප්‍රදේශ සඳහා නව නීතීන් ක්‍රියාත්මක අතර

නිවස් වල ඒකරාශී වීම් පුද්ගලයින් 20 දෙනෙකුට සීමා වීම.
පොදු ප්‍රවාහන සහ ගෘහස්ථ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වීම.

යන සීමා දින 3ක් දක්වා බලපැවැත් වේ.

මේ අතර අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි , සිඩ්නි හි අවදානම් සහිත ප්‍රදේශ වල සංචාරය කල පිරිස දින 14ක් අනිවාර්යයෙන් නිරෝධායන කාලසීමාවකට යටත් වියයුතු බව බටහිර ඕස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සඳහන් කොට සිටී.

එමෙන්ම බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය මුහුණු අවරණ නීති හෙට (08) සිට ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

නිරෝධායන සහ පුද්ගලයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිදී ඕස්ට්‍රේලියානු රජය අසාර්ථක බවට ලිබරල් පක්ෂයෙන් චෝදනා

ඉන්දියාවේ රැඳී සිටින ඕස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන සැලසුම් එළිදැක්වීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සුදානම්ව සිටී.

මේ වනවිට පවතින තත්වය මත ඕස්ට්‍රේලියානුවන් 9,000ක් පමණ ඉන්දියාවේ රැඳී සිටින අතර මැයි මස 15 වැනිදා දක්වාවත් ඉන්දියාවේ සිට ගුවන් යානා පැමිණීම තහනම් කොට තිබේ.

මෙම සංචාරක තහනම අවසන් වූ පසු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පළමු ගුවන් යානයේ පුද්ගලයින් 200 දෙනෙකු පමණ සිටිනු ඇතැයි විශ්වාස කරන බව බලධාරීන් සඳහන් කොට සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිබරල් පක්ෂ සාමාජිකා Linda Burney සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය නිරෝධායන හෝ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස හැසිරුවීමට අපොහොසත් වී ඇති බවයි .

නිරෝධායනය නොවී නවසීලන්තයෙන් සිදු කෙරෙන සංචාර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට තාවකාලිකව නවතී

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි මේ වනවිට පවතින කොරෝනා අවදානම මත ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනයකින් තොරව සිදු කෙරෙන සංචාර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා පැය 48 ක පමණ කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙම තීරණය ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සම්බන්ධයෙන් නවසීලන්තය දැඩි අවධානයකින් පසුවන අතර, ඉදිරියේදී වාර්තා වන තත්වය මත මෙම සංචාර තාවකාලික අත්හිටුවීමේ කාලය රඳා පවතින බව නවසීලන්තයේ COVID-19 ප්‍රතිචාර අමාත්‍ය Chris Hipkins සඳහන් කොට සිටී.

AstraZeneca එන්නත හා සම්බන්ධ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 5ක් පසුගිය සතියේදී

AstraZeneca එන්නත හා සම්බන්ද දුර්ලභ නමුත් බරපතල රුධිරය කැටි ගැසීමේ සිදුවීම් 5 ක් පසුගිය සතියේද වාර්තා වූ බව ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය සඳහන් කොට සිටී.

මෙම එන්නත ඔස්ට්‍රේලියාව තුල ලබාදීම ඇරඹීමෙන් පසු මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 1.4ක් පමණ ලබා දී ඇති අතර මෙම රුධිර කැටි ගැසීමේ තත්වයට මුහුණ දුන් පුද්ගලයින් 11 දෙනෙකු වාර්තා වී තිබේ.

ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතන ප්‍රධානී මහාචාර්ය John Skerritt සඳහන් කොට සිටින්නේ මෙම තත්වයට ගොදුරු වුවන් සෙසු රටවලින් වාර්තා වන ප්‍රමාණයටම ඔස්ට්‍රේලියාවෙන්ද වාර්තා වන බවයි.

කෙසේ නමුත් ඔහු අවධාරණය කොට සිටින්නේ AstraZeneca එන්නතෙන් වයස අවුරුදු 50 ට වඩා වැඩි පුද්ගලයින් හට පවතින ආරක්ෂාව අවබෝධ කරගැනීම වැදගත් වන අතර මෙම එන්නත ලබාගැනීම ඔස්සේ සෙසු වැඩිහිටි සහ දුර්වල පිරිස ආරක්ෂා කෙරෙන බවයි.

චීනය , ඔස්ට්‍රේලියාව සමග ඇති ආර්ථික සාකච්චා අත්හිටුවයි

චීනය , ඔස්ට්‍රේලියාව සමග ඇති ප්‍රධාන ආර්ථික සාකච්චා අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙය චීනය සහ වික්ටෝරියා ප්‍රාන්තය අතර පවතින ගනුදෙනු පිළිබඳව ඇති වූ ගැටළු සම්බන්ධයෙන් වන පලිගැනීමක් වන බවට විශ්වාස කෙරේ.

මේ අනුව චීන-ඕස්ට්‍රේලියානු ක්‍රමෝපායික ආර්ථික සංවාදය යටතේ චීනය, ඔස්ට්‍රේලියාව සමග ඇති සියලුම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවතා දමා ඇති අතර ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සතුව "කඩාකප්පල්කාරී ආකල්පයන්" පවතින බවට පෙන්වා දෙමින් චීනය මෙම තීරණය ප්‍රකාශයට පත්කොට තිබේ.

චීනය සහ වික්ටෝරියා ප්‍රාන්තය අතර පැවති Belt and Road නමින් හැඳින්වෙන ගිවිසුම අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු රජය පසුගිය මාර්තු මසදී තීරණය කල අතර ඒ සම්බන්ධයෙන් චීනයෙන් ලැබුණු පළමු ප්‍රධාන ප්‍රතිචාරය මෙය ලස සැලකේ.

ශ්‍රී ලංකාවේ රෝහල් ධාරිතාවය ඉක්මවා යාමේ අවධානමක්, බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම්

ශ්‍රී ලකාවෙන් කොරෝනා අසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේදී මරණ 11ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංක්‍යාව 745 දක්වා ඉහල ගොස් තිබේ. මේ අනුව පසුගිය මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුල කොරෝනා මරණ සංක්‍යාව 135%ක ඉහල යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් මේ වනවිට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංක්‍යාවද ඊයේ දිනයේදී වාර්තා වී ඇති අතර එම සංක්‍යාව 1939ක් ලෙස සටහන් වේ. මෙමගින් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වලින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් 44දෙනෙකු හටද කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනගෙන තිබේ.

මේ වනවිට පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාව තුල රොගීන් සඳහා පවතින රෝහල් ධාරිතාවය ඉක්ම යාමේ දැඩි අවදානමක් පවතින අතර එම තත්වය භයානක වන බව සෞඛ්‍ය අමාත්‍යංශ මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා අවධාරණය කොට සිටී.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා සහ නිරෝධායන නීති උල්ලංගනය කරන පිරිස අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙම් ක්‍රියාත්මක කොට තිබේ.

 

 


Share
Published 7 May 2021 3:05pm
Updated 7 May 2021 3:09pm
By Nipuna Dodangoda

Share this with family and friends