ප්‍රසව විශාදයෙන් පීඩා විඳින්න එපා, ලැජ්ජා නොවී උදව් ඉල්ලන්න, ඕස්ට්‍රේලියාවේ සිටින නිලූ ගෙන් පණිවිඩයක්

නිවුන් දරුවන් ලැබීමෙන් පසුව නිලූ කරුණාරත්නගේ මානසික සෞඛ්‍යය පිරිහී ගිය නමුත්, අපකීර්තියට පත් වේ යැයි ඇතිවූ බිය නිසා ඇය ඒ ගැන කතා කරන්නට මැලි වූවාය.පසුව උපකාර ලබා ගෙන යළිත් සුපුරුදු ප්‍රීතිමත් ජිවිතයට යොමු වූ නිලූගේ කතාව සහ ඇගේ පණිවිඩය මේ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

A man and woman in a hospital bed holding two newborn babies

Nilu Karunaratne and her husband moved from Sri Lanka to Australia several years before having children. Source: Supplied

Key Points
  • නව මව්වරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සහ නව පියවරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පූර්ව ප්‍රසව විශාදය ( Perinatal depression ) හෝ කාංසාව (anxiety) අත්විඳින බව වාර්තා වේ.
  • දරු උපතකට පෙර පූර්ව ප්‍රසව සමය තුළ සියලුම ඔස්ට්‍රේලියානුවන් දුෂ්කරතා වලට මුහුණ දෙන නමුත් සංක්‍රමණිකයන් බොහෝ විට අමතර අභියෝගවලට මුහුණ දෙයි.
  • නිලූ කරුණාරත්න ඇගේ නිවුන් දරුවන් ලැබීමෙන් පසු ඇගේ මානසික සෞඛ්‍යය ගැටළු සමඟ පීඩා විඳි නමුත් උපකාර පැතීමට පසුබට විය.
අවවාදයයි : මෙම ලිපියේ මානසික අවපීඩනය සහ කාංසාව පිළිබඳ කරුණු ඇතුළත් වේ.

මේ ලිපිය සඳහා මවක් විදිහට තම ජිවිතදී ලද අත්දැකීම් සමඟින් කරුණු ඉදිරිපත් කිරීමට සම්බන්ද වූයේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ නිලූ කරුණාරත්න නමැති කාන්තාවයි.

නිවුන් දරුවන් ලැබීමට සිටින බව දැනගත් නිලූ ඒ පණිවිඩයෙන් ඉමහත් සතුටට පත් වූ නමුත් දරුවන් ප්‍රසූත කිරීමෙන් පසු ඇයට සිතුණේ කිසියම් දෙයක් නිවැරදි ව සිදු නොවන බවයි.

නිලූ සහ ඇගේ සැමියා දුමී ධර්මපාල 2016 වසරේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අතර ජීවිතයේ නව ආරම්භය ගැන උද්‍යෝගයෙන් සිටි යුවලකි.

ඔවුන් මුලින්ම සිඩ්නි හි බ්ලැක්ටවුන් වෙත සංක්‍රමණය වූ නමුත් පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මයිල්ස් නම් කුඩා නගරයට පදිංචියට ගොස් තිබෙන්නේ දුමීට පවුලේ වෛද්‍යවරයකු ලෙස එම නගරයේ රැකියා අවස්ථාවක් ලැබීමත් සමගිනි.
A family wearing winter clothing on a mountain
Nilu Karunaratne (second from left) struggled with her mental health after the birth of her twins. Source: Supplied
වසර කිහිපයකට පසු, නිලූ ගැබ්ගත් අතර, ඇය ග්රේව්ස් රෝගය (Graves' disease) සහ ගර්භණී සමයේ දියවැඩියාව අත්විඳි නමුත්, සිය ගර්භණී අවධිය ධනාත්මක අත්දැකීමක් බව නිලූ පවසයි.

ඇය විසින් Gaven සහ Gloria යන නිවුන් දරුවන් දෙදෙනා සැලසුම් සහගත සිසේරියන් සැත්කමකින් සුමට ලෙස ප්‍රසූත කර තිබේ.

දරු උපතින් පසුව නිලූ දින නවයක් රෝහලේ ගත කළ අතර ඉන් ඇය ශාරීරික සුවය ලැබුවද ඇයගේ මානසික සෞඛ්‍යය පිරිහෙන්නට විය.

"මගේ මොළයේ සහ මගේ මනසේ යම් දෙයක් සිදුවෙමින් පවතින බව මට දැනුණා. දරු ප්‍රසූතියෙන් මාසයකට පසු සියල්ල නරක අතට හැරුණා" යනුවෙන් නිලූ SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවාය.

"මට මහන්සියි, නමුත් මට නිදාගන්න බැරි වුණා, හැම සුළු සිදුවීමක්ම මා තුළ කෝපයක් ඇති කළා, කිසිම හේතුවක් නොමැතිව කඳුළු ගලා ගියා"


මානසික ආතතිය නිසාම නිලූට මව්කිරි දීමේ අපහසුතාවයක් ද ඇති විය.ඇගේ නිවුන් දරුවෝ නිදා නොගත් අතර දිගින් දිගටම අඬමින් සිටියහ.

විශේෂයෙන්ම දකුණු ආසියාතික සංස්කෘතිය තුළ මානසික සෞඛ්‍යය ගැන සාකච්ඡා කිරීමේදී අපකීර්තියක් ඇති වේ යැයි පවතින බිය නිසා ඇයට ඇගේ තත්වය වෙනුවෙන් උපකාර ඉල්ලා සිටීම පහසු නොවීය.
" සංස්කෘතික බාධක සහ සාම්ප්‍රදායික අවශ්‍යතා පිළිබඳව මා අතිශයින්ම දැනුවත්ව සිටි නිසා, පසු ප්‍රසව විශාදයෙන් මට ඇති වූ සිතුවිලි කිසිවෙකු සමඟ බෙදා ගැනීමට මට කිසි විටෙකත් අවශ්‍ය නොවීය," යනුවෙන් ඇය පැවසුවාය.

“බොහෝ දකුණු ආසියාතික ජනතාව සිතන්නේ අප විසින්ම සියලු වැඩ කළ යුතු බවයි.විශේෂයෙන් මානසික අවපීඩනය සහ කාංසාව වැනි දේ සඳහා පවා අන් අයගෙන් උපකාර ඉල්ලා සිටීමට අපට කිසි විටෙකත් අවශ්‍ය නැත යන්න ඔවුන්ගේ මතයයි"

"උදව් ඉල්ලීම දුර්වලකමක් කියලයි අපි හිතන්නේ.නමුත් එහෙම කිසිම දෙයක් නැහැ. උපකාර පැතීම ශක්තියක් .දැන් මම ඒ ගැන දන්නවා "

පූර්ව ප්‍රසව මානසික සෞඛ්‍යය යනු කුමක්ද?

Perinatal කාලය යනු දරුවකු පිළිසිඳ ගැනීමෙන් ආරම්භ වන කාල පරිච්ඡේදයක් වන අතර එය ගැබ්ගැනීම් සහ උපතින් පසු පළමු වසර දක්වා පවතී.

ප්‍රසව කාලය පුරාවටම, බොහෝ නව දෙමාපියන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයේ වෙනස්කම් අත්විඳිනු ඇත.
ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම perinatal depression සහ කාංසාව හේතුවෙන්
ඕස්ට්‍රේලියානු පවුල් 100,000ක් බලපෑමට ලක් වේ.

  • රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර කලකිරීමක්, කෝපයක්, දුකක්, බලාපොරොත්තු රහිත බවක් හෝ හිස් බවක් දැනීම මීට ඇතුළත් විය හැකිය.
  • සමහරු ශරීර ශක්තිය අහිමි වීම සහ තමන් කලින් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් නොමැතිකම අත්විඳිති.
  • නින්ද නොයාම, දරුවා සමඟ සම්බන්ධ වීමට අපහසු වීම, වරදකාරි හැඟීම හෝ තමාගේ වටිනාකමක් නැති බව දැනීම සහ මරණය පිළිබඳ සිතුවිලි පවා ඇති වීම මෙම තත්වයේ පොදු රෝග ලක්ෂණ වේ.

ඔස්ට්‍රේලියාවේ දරුවෙකුගේ නව මවක් හෝ පියෙකු බවට පත් පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙක්ට දරුවාගේ අනෙක් මව්පිය පාර්ශවයෙන් ශක්තිමත් සහයෝගයක් නොලැබෙන අතර

මවක් හෝ පියෙක් බවට පත් වූ පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට දරුවාගේ අනෙක් මව්පිය පාර්ශ්වය සමඟ සම්බන්ධ වීමට පහසු නොවන බව නවතම දත්ත මගින් පෙන්වා දේ.
අනාගත සහ නව දෙමාපියන්ගේ චිත්තවේගීය යහපැවැත්මට සහාය වන Gidget පදනම විසින් , නව මව්වරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට සහ නව පියවරුන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පූර්ව ප්‍රසව විශාදය, කාංසාව හෝ ඒ ආශ්‍රිත මනෝභාවයේ ආබාධ ඇති බව හඳුනාගෙන ඇත.

එම පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Arabella Gibson විසින් මෙම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවට සැක පල කරයි.

රෝග විනිශ්චය නොකළ සැලකිය යුතු පිරිසක් ප්‍රජාව තුළ සිටින බව ඇය SBS ප්‍රවෘත්ති අංශයට පැවසුවාය.

සෑම වසරකම නව මාපියන් සහ අනාගත දෙමාපියන් සමඟ මෙම සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

සංස්කෘතික බාධක සහ හුදකලාව

දරු උපතක් සිදු වන ප්‍රසව සමය සෑම කෙනෙකුටම අභියෝගාත්මක විය හැකි අතර, විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රදේශ වල හෝ දුරස්ථ ප්‍රජාවන්හි ජීවත් වන සංක්‍රමණිකයන් බොහෝ විට අමතර දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ලබයි.

සංස්කෘතික හෝ භාෂා බාධක, වෘත්තීය සේවාවන් සඳහා ප්‍රවේශය නොමැතිකම, සමාජයීය සහාය සහ පවුලේ සහාය සීමා වීම යන කාරණා මීට හේතු වේ.

2021 වසරේ සිදු කරන ලද සංගණනයට අනුව බ්‍රිස්බේන් නගරයට කිලෝමීටර් 340ක් බටහිරින් පිහිටි 1,874ක ජනගහනයක් සිටින මයිල්ස් නම් කුඩා නගරයේ දෙමාපියෙකු වීම ඇගේ පැරණි ජීවිතයට සාපේක්ෂව විශාල වෙනසක් විය.
A woman wearing a pink sparkly top smiles at the camera
Karunaratne struggled with perinatal mental health and had limited access to support in rural Queensland. Source: Supplied
සැමියාගේ සහයද ඔස්ටේ‍්‍රලියාවට පැමිණි මවගේ සහය ද ඇයට හිමි වූ නමුත් ඇයට ඇගේ කාර්යබහුල සමාජ ජීවිතය සහ සංස්කෘතික සම්බන්ධතා සියල්ල අහිමි විය.

"මම ගොඩක් සමාජශීලී කෙනෙක්, මම ලංකාවේ ඉන්නකොට බැංකුවක වැඩ කළා, මට ලොකු සමාජ ජීවිතයක් තිබුණා, හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා සංකීර්ණ වුණා," නිලූ පැවසුවාය.

"ඒක දරා ගන්න හරිම අමාරු දෙයක්."

ප්‍රාදේශීය ප්‍රදේශ වල සහ දුරස්ථ ප්‍රජාවන්ගේ සිටිම ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සඳහා සහය ලබා ගත හැක්කේ කෙසේද?


මයිල්ස් වැනි නගරයක, මානසික සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් බොහෝ විට සීමිත විකල්ප ඇති අතර, පුද්ගල සහය ලබා ගැනීම සඳහා රෝගීන්ට බොහෝ විට පැය ගණනක් දුර ගමන් කිරීමට සිදුවේ.

එම ප්‍රදේශ වල මනෝ උපදේශකයින් හෝ වෘත්තිකයන් සිටින නමුත් , ඒවා ඉතා කුඩා නගර වන බැවින් එම නගර වල ඇති සම්බන්ධතා තුළ ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්න ප්‍රසිද්ධියට පත් වේ යැයි ඇති බිය හේතුවෙන් රෝගීන් බොහෝ විට මෙම ප්‍රාදේශීය මනෝ උපදේශකයෙකු හමුවීමට පැමිණීමට පසුබට වේ.

ප්‍රාදේශීය, ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රජාවන් හි සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රදේශය තුළ විශේෂඥ සේවා නොමැතිකම නිසා විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාවක් ද නොමැති වේ.
ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවලට තවත් උපකාරක සේවාවන් අවශ්‍ය වන අතර, telehealth , දුරකථන උපදේශනය සහ online virtual ප්‍රජාවන් වැනි විකල්ප මගින් සැලකිය යුතු සහයෝගයක් ලබා දිය හැකි වේ.

ප්‍රසව විශාදය යනු කල් ඇතිව හඳුනා ගැනීම සහ ඉක්මන් මැදිහත්වීම මඟින්, යථා තත්ත්වයට පත් කළ හැකි රෝගී තත්ත්වයක් වන අතර ඒ වෙනුවෙන් බොහෝ උපකාරක සේවාවන් ද ලබා ගත හැකි වේ.

"ඔබට අවශ්‍ය උපකාර සඳහා වහාම යොමු වන්න, මානසික රෝගී තත්ත්වයන් අත්විඳිමින් මාස, ගණන් අවුරුදු ගණනාවක් ගත කිරීමට අවශ්‍ය වන්නේ නැහැ."
ඒ අනුව, අන්තර්ජාලය ඔස්සේ මනෝ උපදේශකයෙකු හමුවීමෙන් ඇයගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට පියවර ගැනීමට නිලූට හැකි වී තිබේ.

තම සැමියාගේ සහ මවගේ සහයෝගය ඇතිව නිලූ විසින් ඇයගේ ජීවිතයේ නව චර්යාවන් ඇති කර ගත් ගත්තාය. නිවැරදි සිහිය පවත්වා ගන්නා ක්‍රියාකාරකම් වන ඉවුම් පිහුම්, යෝගී ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් සඳහා ඇය විසින් කාලය වෙන් කර ගත් අතර, නිදා ගැනීමට සහ විවේකීව සිටීමටද ඇය කාලය වෙන් කළාය.

ඉන් මාස දෙකක් ඇතුළත ඇය නැවත වරක් ප්‍රකෘතිමත් භාවයට පත් වූ බව නිලූ පවසයි.

තමා ගැන විවෘතව කතා කිරීමට පුරුදු වන ලෙසත් යම් හෙයකින් ප්‍රසූත අවධියේදී මානසික සෞඛ්‍ය ගැටළුවක් ඇති වූයේ නම් ඊට අවශ්‍ය වෘත්තීය සහාය ලබා ගැනීමට බිය නොවන ලෙසත් නිලූ විසින් නව සහ අනාගත දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

"මානසික සෞඛ්‍ය ගැටළුවක් ඇති වීම අපේ වරදක් නොවේ, එය අපගේ මොළයේ ඇති වන රසායනික අසමතුලිතතාවයක්," ඇය වැඩිදුරටත් පැවසුවාය.

"සෑම කෙනෙකුගේම ජීවිත කතාව වෙනස්. සෑම පුද්ගලයෙකුගේම ගමන සුවිශේෂීයි.නමුත් අපි විවෘතව සිටිය යුතුයි, අපි අපේ කථා බෙදාගත යුතුයි."


(Perinatal Mental Health Week )පූර්ව ප්‍රසව මානසික සෞඛ්‍ය සතිය නොවැම්බර් 12 සිට නොවැම්බර් 18 දක්වා ක්‍රියාත්මක වේ.

යම් කිසි කෙනෙක් මානසික සෞඛ්‍යය පිළිබඳ සහය අපේක්ෂා කරන්නේ නම් 1300 22 4636 ඔස්සේ Beyond Blue සම්බන්ධ කර ගත හැක. වැඩිදුර තොරතුරු වෙතින් ලබා ගත හැක.

Embrace Multicultural Mental Health මගින් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වලින් පැමිණෙන පුද්ගලයින්ට අවශ්‍ය කරන සහාය ලබා දේ.

Share
Published 13 November 2023 11:29pm
By Jessica Bahr, Athini Amarasiri
Source: SBS


Share this with family and friends