කොරෝනා නිසා මාර්තු 23 වන දා මධ්‍යහනයේ සිට සමස්ත ඔස්ට්‍රේලියවේම වසා දැමෙන සේවාවන් සහ බල පැවැත්වෙන නවතම නීති මාලාව අගමැති මොරිසන් ප්‍රකාශ කරයි (SBS සිංහල/ වාර්තා)

Coronavirus

Source: Pixabay

සමස්ත ඔස්ට්‍රේලියාවේම සිනමා ශාලා, සමාජ ශාලා, Pubs, කැසිනෝ, වන්දනා කරන ගෘහස්ත ස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන indoor venues මාර්තු 23 මධ්‍යහනයේ සිට වසා දමන ලෙස අගමැති Scott Morrison නිවේදනය කළේය.

මාර්තු 22 පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මේ බව තීරණය කෙරුණු බව වාර්තා වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


එමෙන්ම කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාවේ පැතිරීම වැළක්වීමේ අරමුණින් අද දිනයේ අගමැති මොරිසන් විසින් තවත් තීරණ කිහිපයක්ද ගනු ලැබීය.
Coronavirus
PM Scott Morrison at the media conference in Canberra Source: AAP

මාර්තු 23 මධ්‍යහනයේ සිට වසා දැමෙන ස්ථාන

සමූහ වශයෙන් ජනයා ඒකරාශී වන ස්ථාන වසා දැමීමේ අරමුණින් මාර්තු 23 මධ්‍යහනයේ සිට සමස්ත ඔස්ට්‍රේලියාවේම සිනමා ශාලා, සමාජ ශාලා, Pubs, කැසිනෝ, වන්දනා කරන ස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන indoor venues වසා දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි.

අවන්හල් තුළ ආහාර පාන ගැනීම ද තහනම් කර ඇති අතර ඒවා TAKE AWAY සේවාවන් සඳහා පමණක් සීමා කර ඇත.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ හැර ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත වල පාසල්, පාස්කු නිවාඩුව තෙක් සුපුරුදු පරිදි විවෘතව තැබෙන බවද අගමැති මොරිසන් පැවසීය.

නමුත් දෙමාපියන්ගේ කැමැත්ත මත තම දරුවන්ව පාසල් වෙත නොයවා සිටීමට අවස්ථාව ඇති බවද ඔහු සඳහන් කළේය.
Coronavirus
Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම පාසල් වසා දැමෙයි

වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම පාසල් එළඹෙන අඟහරුවාදා (24/03) සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
පාස්කු පාසල් නිවාඩුව එළඹෙන මාර්තු 28 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබුණද පවතින හදිසි හා බරපතල තත්ත්වය මත එම නිවාඩුව දින 4කට පෙර ලබා දීමට ප්‍රාන්ත රජය අද (22/03) තීරණය කළේය.

පාසල් නැවත ආරම්භ කරන දිනය සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර තීරණය කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
Coronavirus
Victorian Premier Daniel Andrews Source: Getty Images

අනවශ්‍ය අභ්‍යන්තර ගමන් අවලංගු කරන්න

ඔස්ට්‍රේලියාව තුළ අත්‍යවශ්‍ය නොවන ගමන් අවලංගු කරන ලෙස අගමැති මොරිසන් මාර්තු 22 පස්වරුවේ පැවසුවේය.

පාසල් නිවාඩුවත් සමග ඔස්ට්‍රේලියාව තුළ යාමට සැලසුම් කර ඇති සියලුම අත්‍යවශ්‍ය නොවන අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළු සියලු සංචාර නවත්වන ලෙස අගමැතිවරයා ඔස්ට්‍රේලියානුවාසීන්ට පැවසුවේය.

නමුත් රාජකාරී කටයුතු වලට හෝ රැකියා සඳහා ගමන් කිරීමේදී මෙම නීති බල නොපාන බවද ඔහු පැහැදිලි කළේය.

මෙහිදී සියලු ඔස්ට්‍රේලියානුවාසීන් තම සාමාන්‍ය දැනීම භාවිත කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
Sydney airport
Sydney airport Source: AAP

දෙවැනි සහන පැකේජයත් එළි දක්වයි

ඔස්ට්‍රේලියාවේ ඇතැම් සේවාවන් සහ ව්‍යාපාර අක්‍රිය කිරීමට සිදුව ඇති නිසා ඒවායින් ආර්ථික පීඩාවන්ට පත්වන පිරිස් වෙත ආර්ථික සහන සැලසීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් බිලියන 66 ක සහන පැකේජයක් ඉදිරිපත් කර තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කළ දෙවැනි සහන පැකේජය ලෙස මෙය හැඳින්වේ.

ආර්ථික පීඩනය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවීමට වග බලාගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
මෙහිදී ආර්ථික පීඩාවන්ට පත්වූ සුළු පරිමාන ව්‍යාපාර සඳහා $100,000 ක අත්පිට මුදලක් ලබා දීම සිදු කෙරේ.

එමෙන්ම මීට පෙර Newstart ලෙස හැඳින්වූ මේ වන විට Jobseeker දීමනාව ලෙස හඳුන්වන සුබ සාධන දීමනාව තාවකාලිකව දෙගුණ කර ඇත.

2019-20 සහ 2020-21 කාලවලදී තම superannuation ගිණුම් වල ඇති මුදලින් $10,000 කක් දක්වා නැවත ලබාගැනීමට අවසර ලබාදීම මෙහිදී සිදු කෙරුණි.

එමෙන්ම විශ්‍රාමිකයින්ගේ deeming rates ද තවත් 0.25% කින් අඩු කර ඇත.
Coronavirus
Source: Getty Images

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල සියලු අත්‍යවශ්‍ය නොවන සේවා වසා දැමෙයි

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල සියලු අත්‍යවශ්‍ය නොවන සේවා මාර්තු 24 වන දින (අඟහරුවාදා) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට මේ වන විට තීරණය කර ඇත.

කොරෝනා වයිරසය ශීග්‍රයෙන් පැතිරීම වැළක්වීමේ අරමුණින් ප්‍රාන්ත අගමැතිවරු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මාර්තු 22 පස්වරු 6 වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 533 ක් වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ 296 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසය ආසාදනය වූ 67 දෙනෙකු වාර්තා වූ අතර එක් දිනකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එය ලෙස සටහන් වේ.

මෙනිසාම වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම අත්‍යවශ්‍ය නොවන සේවාවන් නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා (24/03) සිට වසා දැමීමට ප්‍රාන්ත රජය තීරණය කළ බව Daniel Andrews පැවසුවේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද කොරෝනා වයිරසය ආසාදිතවූවන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බැවින් ප්‍රාන්තයේ සියලුම අත්‍යවශ්‍ය නොවන සේවාවන් නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා (24/03) සිට වසා දැමීමට තීරණය කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
Coronavirus
Source: SBS Sinhala

Share
Published 22 March 2020 11:21pm
Updated 23 March 2020 12:08am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends