සංගා, ICC ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුලත් කෙරේ: ජූනි 15දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

කියවන්න ජුනි මස 15 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන්

Sri Lankan former Cricket captain Kumar Sangakkara

Sri Lankan former Cricket captain Kumar Sangakkara Source: SBS Sinhala

Highlights
  • වයස්ගත සහ ආබාධිත පුද්ගලයින් ගේ නිවෙස් වලට ගොස් කොරෝනා එන්නත ලබාදීමේ අනුමැතිය GP වෛද්‍ය සේවාව වෙත ලබා දීමට මධ්‍යම රජය තීරණය කරයි.
  • වික්ටෝරියාවෙන් අලුතින් වාර්තාවන කිසිඳු කොරෝනා ආසාදිතයෙකු නැහැ: ප්‍රාන්ත සෞඛ්‍ය අංශය නිවේදනය කරයි.
  • කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අප මත මුදා හැරේ.
  • ඩිජිටල් කොවිඩ් අවසර පත්‍රයක් හඳුන්වා දීමට යෝරෝපා සංගමයේ අවධානය යොමුවෙයි.
  • ICC ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් කෙරේ.
නිවෙස් වලට ගොස් කොරෝනා එන්නත ලබාදීමේ අනුමැතිය GP වෛද්‍ය සේවාව වෙත ලබා දේ

වයස්ගත පුද්ගලයින්ට සහ ආබාධිත තත්වයේ පසුවන පුද්ගලයින් හට නිවෙස් වලට පැමිණ කොරෝනා වෛරස් එන්නත ලබාදීමේ අනුමැතිය GP වරුනට හෙවත් සාමාන්‍ය වෛද්‍ය වරුනට ලබාදීමට මධ්‍යම රජය තීරණය කරයි.

කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව මේවන විට ඕස්ට්‍රේලියාවේ සියලුම වැඩිහිටි සත්කාරක නිවාස වලට ලබාදී ඇති  අතර දෙවන මාත්‍රාව වැඩිහිටි නිවාස වලින් සියයට 94 ක ප්‍රතිශතයකට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසා සිටී.

එසේම මිලියන 5.9 කට වැඩි  ඕස්ට්‍රේලියානු වැසියනට මේ වන විට අවම වශයෙන් කොරෝනා එන්නතෙහි එක් මාත්‍රාවක්වත් ලබා දී ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද කොරෝනා ආසාදිතයින් වාර්තා නොවේ

අද (15 June) උදෑසන වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් වාර්තාවන කිසිඳු කොරෝනා ආසාදිතයෙකු නොමැති බව වික්ටෝරියා සෞඛ්‍ය අංශය නිවේදනය කොට සිටී. කෙසේවෙතත් විදේශයන්හි සිට මෙරටට පැමිණ හෝටල් නිරෝධයායන යෙහි යෙදෙන පුද්ගලයින්ගෙන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වී ඇත.  

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ තවදුරටත් ක්‍රියාත්මක කොරෝනා සීමා කිරීම් ඉවත්වීමට නියමිත මෙම 18 වනදාට පෙර එම සීමා කිරීම් වල ඇතැම් නීති තවදුරටත් ලිහිල් කිරීම පිළිබඳව විවිද ක්ෂේස්ත්‍ර වල අවධානය යොමුවෙමින් පවතී. ප්‍රාන්තය ඒ සඳහා සුදුසු මට්ටමට ලඟාවුනු  පසු එය සිදුවෙනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆෝලි පවසා සිටියේය.

අගමැති මොරිසන් බ්‍ර්තාන්‍ය සමඟ වෙළඳ ගිවිසුමකට සැරසේ 

ඕස්ට්‍රේලියාව සමඟ ශක්තිමත් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා අගමැති ස්කොට් මොරිසන් එක්සත් රාජධානිය දිරිමත්  කිරීමට සුදානම් වේ. බ්‍රිතානයේ පැවති G 7 සමුළුවෙන් අනතුරුව අගමැති ස්කොට් මොරිසන්, අද, බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු කාලයේදී අගමැති බොරිස් ජොන්සන් හමුවීමට නියමිතයි. එහිදී දෙදෙනා අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු හරක් මස් හා බැටළු මස් අපනයන සම්බන්ධයෙන් මෙහිදී එකඟතා ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතන්ට ඇප හිමිවේ

අත්අඩංගුවට ගැණුනු කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා ලක්ෂ 20 ක පෞද්ගලික බැදුම්කරයක් මත ඊයේ දිනයේදී මුදා හැරීමට කොළඹ මහාධිකරණයේ නියෝග කොට තිබේ.   ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට අද ඉදිරිපත් කර තිබුනේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අධිකරණය විසින්, නැවෙහි කපිතාන්වරයාට විදෙස් ගතවීම වළක්වාලමින් පනවා තිබු තහනමද තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කොට ඇත. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 57ක්

ඊයේ දිනය (14 June) වන විට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 57ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 2,260කි.

එසේම ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදන සංඛ්‍යාව 2,259කි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 2,25,897ක් දක්වා ඉහළගොස් තිබේ.

සංගා ICC ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක සහ විශිෂ්ට පිතිකරු කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් කර තිබේ. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු මෙවැනි ගෞරවයක් අත්කර ගත් දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2016 වසරේදී සුපිරි දඟපන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් මේ ලැයිස්තුවට නම් කර තිබිණි.

මෙවර ICC   ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නවතම ලැයිස්තුවට කුමාර් සංගක්කාර ඇතුළුව ක්‍රීඩකයන් 10 දෙනකු නම් කර ඇති අතර, එම ක්‍රීඩකයන් යුග 5කින් එක් කරගැනීමට අයිසීසීය කටයුතු කර ඇත. ඒ අනුව  කුමාර් සංගක්කාර ඇතුළත් වන්නේ 1996-2016 අතර කාල පරාසයේ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙසිනි.

ඒ අනුව 1918ට පෙර, 1918-1945, 1946-1970, 1971-1995 සහ 1996-2016 අතර කාල පරාසය තුළින් මේ ක්‍රීඩකයන් තෝරා ගෙන තිබේ. කුමාර් සංගක්කාර ඇතුළත් වන්නේ 1996-2016 අතර කාල පරාසයේ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙසිනි.

වසර 2009 දී ආරම්භ කළ මේ ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට මෙවර නම් කළ ක්‍රීඩකයන් දස දෙනා සමඟ ඇතුළත් වන සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව 103කි. මේ ලැයිස්තුවට නම් කරනු ලබන සෑම ක්‍රීඩකයකුටම ඒ වෙනුවෙන්ම නිර්මාණය කරනු ලබන විශේෂිත හිස් වැස්මක් පිරිනැමේ.

ඩිජිටල් කොවිඩ් අවසර පත්‍රයක් හඳුන්වා දීමට යෝරෝපා සංගමයේ අවධානය

යුරෝපා සංගමයේ රටවල් අතර සැරිසැරීම සඳහා නව ඩිජිටල් කොවිඩ් අවසර පත්‍රයක් හඳුන්වා දීමට යුරෝපා සංගමය තීරණය කරයි. ජුනි - අගෝස්තු කාලයේ යුරෝපයේ ගිම්හාන කාලය තුල යුරෝපා සංගමයට අයත් සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ. කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින්, ආසාදනය වී සුව වුනු අයවලුන් සහ කොරෝනා වෛරසය ආසාදනය නොවුණු බවට පරීක්ෂාවකින් තහවුරු කරගත් පුද්ගලයින් හට මෙම අවසර පත්‍රය සඳහා ඉල්ලුම් කල හැකි වනු ඇති බව යුරෝපා සංගමයේ සභාපතිනී උර්සුලා වොන්ඩර්ලයන් මහත්මිය පවසා සිටියාය.


පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 15 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

 

 

 

 

 

 

 

 


Share
Published 15 June 2021 6:21pm
Updated 15 June 2021 6:41pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends