ඕස්ට්‍රේලියානු වාසී ලාංකික කාන්තාවන් ගැබ් ගෙල පිළිකා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු නොකරගැනීමේ දුර්මත හඳුනාගනිමු (SBS සිංහල විමර්ශන)

ගැබ් ගෙළ පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණය නොකඩවා කරගැනීමෙන් කාන්තාවන්ට මෙම අවදානමෙන් මිදීමට බොහොම පහසුවෙන් හැකියාව ලැබෙන බව වෛද්‍ය පියුමිකා ද අල්විස් මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය සමග පැවසුවාය.

The common misconceptions that Sri Lankan women do not get tested for cervical cancer

Source: Supplied: Pink Saree Project

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු දකුණු ආසියාතික කාන්තාවන් ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

එනිසාම මෙම මාරාන්තික ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීමට දකුණු ආසියානු කාන්තාවන් දැනුවත් කිරීමට සිඩ්නි නුවර Pink Sari ප්‍රජා වැඩසටහන මේ වසරේ පියවර ගෙන තිබේ.

මීට පෙර වසර වලද විවිධ පිළිකා රෝග පිළිබඳ ප්‍රජාව දැනුවත් කළ වැඩසටහනක් ලෙස මෙම Pink Sari ප්‍රජා වැඩසටහන හැඳින්වේ.


Highlights

  • මෙවර Pink Sari ප්‍රජා වැඩසටහන හරහා ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම සිදුවේ.
  • විවාහ වී කල් ගතවන විට ලිංගික සම්බන්ධතා නොපවත්වන වියෙහි මෙම පරීක්ෂණය කරගැනීම අනවශ්‍ය බව බොහෝ කාන්තාවන් සිතයි.
  • ලොව කාන්තාවන්ට වැඩිපුරම වැළඳෙන පිළිකා අතරින් ගැබ් ගෙළ පිළිකා සිව්වන ස්ථානයේ පසුවන බවද සඳහන්.

මෙවර දැනුවත් කිරීම

ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම මෙවර Pink Sari ප්‍රජා වැඩසටහන හරහා සිදුවේ.

විශේෂයෙන්ම මෙවර බටහිර හා දකුණු සිඩ්නි කලාප වල කාන්තාවන්ව ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව Pink Sari තානාපතිනියක වන පද්මිණි පිරිස් මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

ශ්‍රී ලාංකික කාන්තාවන් සබකෝලය නිසා හෝ යම් යම් ලැජ්ජා ශීලී ගති පැවතුම් නිසා ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති රෝග පිළිබඳ වෛද්‍යවරුන්ට පැවසීමට හෝ ඒ පිළිබඳ උපදෙස් ලබා ගැනීමට හෝ මැලිකමක් දක්වන බව ඇය ප්‍රකාශ කළාය.

" එවැනි ගැටලු තමන්ගේ පවුලේ අයත් සමග හෝ බොහෝ අය කතාකරන්නේ නැහැ. බොහොමයක් කාන්තාවන් ඒවා වැදගත් දේවල් විදියට සලකන්නේ නැහැ. එනිසා පිළිකා වගේ රෝග හඳුනාගැනීමට තිබෙන පරීක්ෂණ වලට යාම බොහෝ දුරට අඩුවෙලා තිබෙනවා." යනුවෙන්ද පද්මිණි පිරිස් මහත්මිය විස්තර කළාය.

පිළිකා වැනි රෝගී තත්ත්ව මුල් අවධියේම හඳුනාගතහොත් නිසි ප්‍රතිකාර කරමින් ඒවා සුව කිරීමට හැකියාව පවතියි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

බොහොමයක් ශ්‍රී ලාංකික කාන්තාවන් තුළ මේ සම්බන්ධව පවතින පොදු වැරදි අදහස් කිහිපයක් පිළිබඳවද Pink Sari තානාපතිනියක වන පද්මිණි පිරිස් මහත්මිය පහත පරිදි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

  • විවාහ වී කල් ගතවන විට ලිංගික සම්බන්ධතා නොපවත්වන වියෙහි මෙම Pap test එක කරගැනීම අනවශ්‍යයි.
  • එක් සහකරුවෙකු සමග පමණක් තමන් ලිංගිකව හැසිරෙන නිසා මෙවැනි පරීක්ෂණ සිදුකරගැනීම අනවශ්‍යයි.
  • මෙවැනි පරීක්ෂණ සිදුකරගැනීම අනවශ්‍ය බවට සංස්කෘතිකමය වශයෙන් සිය පවුලෙන්ම පැමිණෙන විරෝධය.
කෙසේහෝ තමන්ට මේ පිළිබඳ කුමන හෝ ගැටලුවක් පවතී නම් තමාගේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් ඒවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ සිංහල භාෂාව කතා කරන කාන්තා වෛද්‍යවරියන් සේවයේ යෙදී සිටින බැවින් පිරිමි වෛද්‍යවරයෙකු හමුවීමට අකමැති නම් එවැනි කාන්තා වෛද්‍යවරියක් හමුවී මෙම ගැටලු නිරාකරණය කරගත හැකි බව පද්මිණි පිරිස් මහත්මිය සඳහන් කළාය.
Sri Lankan Women is Australia are taking very less Cervical Screening tests
Mrs. Padmini Peiris Source: Supplied: Padmini Peiris

ශ්‍රී ලාංකික කාන්තාවන් මෙම ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීමට හේතු

මෙය ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන පුද්ගලික පරීක්ෂණයක් නිසා ශ්‍රී ලාංකික කාන්තවන් මෙම පරීක්ෂණය කරගැනීමට බොහෝ ලැජ්ජාවක් ඇති බව සිඩ්නි නුවර වෛද්‍ය පියුමිකා ද අල්විස් මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

මෙය නිතරම සිදුකරන පරීක්ෂණයක් නිසා මෙයට ලැජ්ජා වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඇය පැහැදිලි කළාය.

"තමන්ට දැන් වියපත් වෙලා, නැත්නම් තමන්ට දැන් සහකරුවෙකු නැහැ, තමන් දැන් ලිංගිකව එක්වන්නේ නැහැ කියලා හිතල මෙම Pap test එක සිදු කරගැනීම අනවශ්‍යයි කියලා ඇතැම් අය සිතනවා. ඒක වැරදි මතයක්. කුමන හෝ කාන්තාවක් ජීවිතයේ එක් වරක් හෝ ලිංගිකව එක්ව තිබේනම් ඊට අවුරුදු 20 කින් පසුව වුවත් මෙම ගැබ් ගෙල පිළිකාව ඇතිවීමේ සම්භාවිතාවක් පවතිනවා." යනුවෙන් ද වෛද්‍ය පියුමිකා ද අල්විස් මහත්මිය සඳහන් කළාය.

එනිසාම මෙම පරීක්ෂණය සිදුකරගැනීම අත්‍යවශ්‍ය දෙයකි.

මෙම පරීක්ෂණය බොහෝ වේදනා ගෙන දෙන පරීක්ෂණයක් කියා මෙය සිදුකරගැනීමට බොහෝ කාන්තාවන් මෙම පරීක්ෂණය කරගැනීමට බියවන බවත් එසේ බිය විය යුතු නැති බවත් වෛද්‍ය පියුමිකා ද අල්විස් මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය සමග පැවසුවාය.
Pink Saree Project
Source: Supplied: Pink Saree Project

ගැබ් ගෙළ පිළිකා කලින් හඳුනාගැනීමේ පරීක්ෂණය සිදු කෙරෙන අයුරු

ගැබ් ගෙළ පිළිකාවේ පූර්ව අවධි හඳුනාගත හැකි සරළ පරීක්ෂණයක් මේ සඳහා තිබීම විශේෂත්වයකි.

එය තමාගේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් පවා සිදුකරගත හැකිය.

එනිසා ගැබ් ගෙළ පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණය නොකඩවා කරගැනීමෙන් කාන්තාවන්ට මෙම අවදානමෙන් මිදීමට බොහොම පහසුවෙන් හැකියාව ලැබෙන බව වෛද්‍ය පියුමිකා ද අල්විස් මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය සමග පැවසුවාය.

පිළිකාවක් බවට පත්වූ විට ඒ සඳහා ප්‍රතිකාර කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් බවද ඇය ප්‍රකාශ කළාය.

ලොව කාන්තාවන්ට වැඩිපුරම වැළඳෙන පිළිකා අතරින් ගැබ් ගෙළ පිළිකා සිව්වන ස්ථානයේ පසුවන බවද සඳහන්.

වසරකට ලෝකය පුරා මෙම පිළිකාව නිසා කාන්තාවන් ලක්ෂ 3ක් පමණ මිය යන බවද වාර්තා වේ.

එනිසා වසර 5 කට වරක් මෙම පරීක්ෂණය සිදුකරගැනීම අතිශය වැදගත් බව වෛද්‍ය පියුමිකා ද අල්විස් මහත්මිය සඳහන් කළාය.

Share
Published 28 April 2021 12:53pm
Updated 28 April 2021 8:31pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends