ලොව අංක එකේ Rap ගායක EMINEM ගේ ගීත වීඩියෝවක් නිර්මාණය කල ශ්‍රී ලංකාවේ Randy, SBS සිංහල සේවය හමුවේ හෙලිකල තොරතුරු (SBS සිංහල Article)

ලොව අංක එකේ Rap ගායක EMINEM ගේ Tone Deaf ගීත වීඩියෝව නිර්මාණය කරමින් සිය කළා හැකියාවෙන් ශ්‍රී ලංකේය නම ජාත්‍යන්තරයට රැගෙන ගිය ශ්‍රී ලංකික තරුණයා සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කල සාකච්චාව ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

Randy Chriz

Source: Supplied by Randy Chriz

Highlights

  • Randy සිය කළා දිවියට පා තැබීම
  • Randy ගේ ජාතික සහ ජාත්‍යන්තර දක්ෂතා
  • EMINEM ගේ Tone Deaf ගීත වීඩියෝව නිර්මාණයට එක්වීම
  • අන්තර්ජාතික නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුල පවතින තත්වය සහ අවස්ථා

ශ්‍රී ලාංකිකයින් බොහෝ විට විවිධ ආකාරයේ සැඟවුණු දක්ෂතා සහිත පිරිසක් ලෙස හැඳින්විය හැකියි.

නමින් Randy Chriz වන මෙම තරුණයා තවත් එවැනිම සැඟවුණු දක්ෂතාවන් සහ ඉහල කළා කුසලතාවයකින් පිරිපුන් දක්ෂයෙක්.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වාසය කරන Randy, Animation සහ Graphics ඔස්සේ විවධ වූ ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපෘතීන් රැසකට සිය නිර්මාණශීලී දායකත්වය ලබාදී තිබේ.
Randy ගේ නවතම නිර්මාණය ලෙස හැඳින්විය හැකි ලොව අංක එකේ Rap ගායක EMINEM ගේ Tone Deaf ගීත වීඩියෝව නිර්මාණය කිරීම, මේ වනවිට ජාත්‍යන්තරයේ අවධානයට ඔහු වෙත යොමු කරවීමට තරම් සමත්ව තිබේ.

Randy සිය කළා දිවියට පා තැබීම

Randy ගේ දෙමාපියන් මේ වනවිට වෙනත් ක්ෂේස්ත්‍රයන් තුල සිය රැකියා කටයුතු සිදු කලද ඔවුන්ගේ ඇති කළා හැකියාව Randy හට බෙහෙවින් බලපා තිබේ.

Randy වයස අවුරුදු 5ක පමණ කුඩා කල සිට චිත්‍ර ඇඳීමට ප්‍රිය කල අතර එම ආශාව සහ කැපවීම ඔහු මෙතරම් දුරක් රැගෙන ඒමට ලබා දී ඇත්තේ දැඩි දායකත්වයක්.

එම කාලය තුලදී අන්තර්ජාල පහසුකම් නොතිබි අතර රූපවාහිනියේ යන කාටූන් චරිත ඒ අයුරින්ම ඇඳීමට සහ තමන් කැමති පරිදි වෙනස් කිරීමට ප්‍රිය කල බව ඔහු අපත් සමග පැවසීය.

එමෙන්ම ඔහුට වයස අවුරුදු 9ක් පමණ වනවිට කෙටි කලකට එංගලන්තය බලා යාමට සිදුව ඇති අතර එම පාසල් අධ්‍යාපනය ඔස්සේද තම කලා හැකියාව පන්නරය ලැබූ බව Randy පැවසීය.
Randy Chriz
Source: Supplied by Randy Chriz
මීට අමතරව Randy කුඩා කල Comic Books සඳහා දැඩි ලෙස ඇලුම් කොට ඇති අතර ඒ ඔස්සේ තමාගේම කාටුන් චරිත නිර්මාණය කිරීමට පෙළඹ තිබේ.

තමන්ගේ පළමු රැකියාව සඳහා Randy රූපවාහිනී මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වී ඇති අතර එමගින් සහ තවත් රැකියා කිහිපයකින් ලබාගත් අත්දැකීම්ද ඔස්සේ පසුකාලීනව ඔහු තමාගේම රැකියාවක් සඳහා යොමුව තිබේ.

Randy ගේ ජාතික සහ ජාත්‍යන්තර දක්ෂතා

Randy දකුණු ආසියානු ගීත වීඩියෝ සම්මාන තරඟාවලියකට සහභාගී වී ඇති අතර එහිදී ඔහු STIGMATA යන ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ Rock සංගීත කණ්ඩායමට ගීත වීඩියෝවක් නිර්මාණය කොට තිබේ.

මෙම වීඩියෝව සඳහා එම තරඟාවලියට සහභාගී වුවන් ඒ ඒ රටවල සුප්‍රසිද්ධ ස්ථාන ඇතුලත් කළයුතුව තිබූ අතර මෙහිදී Randy ශ්‍රී ලංකාවේ පවතින ප්‍රසිද්ධ ස්ථාන සහ සංස්කෘතිකමය අංග එම වීඩියෝවට ඇතුලත් කොට තිබේ.


 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන්,  පෙරවරු 11 සිට


ඔහුගේ මෙම ගීත වීඩියෝව දින 10ක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී නිම කොට ඇති අතර එම නිර්මාණය තරඟාවලියේ පළමු ස්ථානයට පත්ව තිබේ.

ඇමරිකානු Venom චිත්‍රපටය සඳහා රසිකයින් විසින් සිදු කරන චිත්‍ර නිර්මාණ තරඟයක් සඳහාද ඔහු සහභාගී වී ඇති අතර එහිදී Randy ගේ නිර්මාණය හොඳම නිර්මාණ 10 අතරට එක්ව තිබේ.

EMINEM ගේ Tone Deaf ගීත වීඩියෝව නිර්මාණයට එක්වීම

ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසුලන Rap ගායකයකු වන EMINEM ගේ නවතම වීඩියෝව සඳහා සහභාගී වීම පිළිබඳව අප නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කොට සිටියේ තමන් Hip Hop කලාවට කුඩා කල සිට ලැදි වූවකු වන අතර ඒ අනුව EMINEM ගේ Godzilla ගීතය සඳහා රසික වීඩියෝවක් මුලින්ම තම කාලයෙන් නිර්මාණය කල බවයි.
Randy Chriz
Source: Supplied by Randy Chriz
මෙම වීඩියෝව ඔස්සේ ජාත්‍යන්තර මට්ටමින් තමන් පිළිබඳව දැනගැනීමක් සිදු වූ අතර එම වීඩියෝව සම්බන්ධයෙන් බොහෝ ප්‍රසංශා තමන්ට ලැබුණු බවද Randy වෙත පැවසීය.
ඔහු එම වීඩියෝව අන්තර්ජාලයට එක් කොට දින 4ක් ඇතුලත EMINEM සමග සම්බන්ධ වී සිටින Interscope Records යන ආයතනයෙන් e mail පණිවුඩයක් ලැබී තිබේ. මෙහි ප්‍රතිපලයක් වශයෙන් EMINEM සඳහා නිල ගීත වීඩියෝවක් නිර්මාණය කිරීමට Randy හට එම ආයතනය ආරාධනා කොට ඇති අතර ඒ සඳහා ඔහු කැමැත්ත පලකොට තිබේ.
කුඩා කල සිටම EMINEM රසිකයකු වූ තමන්ට එම ආරාධනය අදහාගත නොහැකි වූ බව දැඩි සතුටකින් යුතුව Randy අපත් සමග පැවසීය.

මෙම වීඩියෝවේ පිටපත නිර්මාණය කිරීම මේ වනවිට තමන් සමග කටයුතු කරන තම බිරිඳ වන Portia Dineni Ratnayake තමන් සමග සිදු කල අතර ඉන් පසුව වීඩියෝවේ නිර්මාණ කටයුතු ආරම්භ කල බව ඔහු පැවසීය.
Randy Chriz
Source: Supplied by Randy Chriz
මෙම නිර්මාණය සඳහා ඔහු දිනකට පැය 18ත් 20ත් අතර කාලයක් වෙහෙස වී කටයතු කොට අතර දින 20ක් වැනි කාලයක් ඇතුලත නිර්මාණය අවසන් කිරීමට හැකිව තිබේ.

මෙය අවසන් කිරීමෙන් අනතුරුව අදාල ඇමරිකානු ආයතනය වෙත ගීත වීඩියෝව ලබාදී ඇති අතර එම ගීත වීඩියෝව සඳහා ඔවුන්ගෙන් දැඩි ප්‍රසාදයක් හිමිව තිබේ.


 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ පිටුවට


මෙහිදී Randy සතු විශේෂ හැකියාවක් වන ඒ ඒ අදාල නිර්මාණකරුවන් සතුව තිබෙන සහ ඔවුනගේ රසිකයින් ඇද බැඳ තබාගන්නා ලක්ෂණ තම නිර්මාණ ඔස්සේ ඔප්නැංවීමද එම ආයතන නිලධාරීන්ගේ විමතියටත් ප්‍රසාදයටත් හේතු වී තිබේ.

ඉන් අනතුරුව එම වීඩියෝවේ සුළු වෙනස්කම් කිරීමට Randy ඔවුන් සමග කටයුතු කොට තිබේ.

මෙම නිර්මාණයේදී Randy මුහුණදුන් අභියෝග

Randy SBS සිංහල සේවයත් සමග සඳහන් කොට සිටියේ මෙම නිර්මාණය අතරතුර විවිධාකාරයේ වූ තාක්ෂණික ගැටළු සහ අභියෝගයන්ට මුහුණ දීමට ඔහුට සිදු වූ බවයි.

විශේෂයෙන්ම Adobe After Effects සමග කටයුතු කිරීමේදී එහි අදාළ Layers සංක්‍යාව 900 ඉක්මවූ විට ඒවා හඳුනාගැනීමට ඔහුට දැඩි ලෙස අපහසු වී ඇති අතර ඒ අනුව ඔහු Adobe ආයතනය සම්බන්ධ කොටගෙන තිබේ.එහිදී ඔවුන්ද සඳහන් කොට ඇත්තේ මෙවැනි තත්වයක් පිළිබඳව ඔවුනටද මින් පෙර වාර්තා වී නොමැති බවයි.

කෙසේ නමුත් EMINEM ගේ Tone Deaf ගීත වීඩියෝව නිර්මාණය සඳහා Projects 12ක් නිර්මාණය කිරීමට සිදුව ඇති අතර මෙවැනි ආකාරයේ වූ Layers 68,000ක් පමණ නිර්මාණය කිරීමට ඔහුට සිදුව තිබේ.

එය යම්තාක් දුරකට අභියෝගාත්මක නිර්මාණයක් බවට පත් වූ බවද Randy SBS සිංහල සේවයට පැවසීය.

අන්තර්ජාතික නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුල පවතින තත්වය සහ අවස්ථා

සිය අත්දැකීම් ඔස්සේ Randy අපත් සමග සඳහන් කොට සිටියේ තමන්ට මේ ක්ෂේස්ත්‍රය තුල වසර 13ක පමණ අත්දැකීම් පවතින අතර තමාට හැඟෙන පරිදි ශ්‍රී ලංකාව තුල පවතින නිර්මාණ වෙළඳපොල ඉතා කුඩා මට්ටමක පවතින බවයි.

එවැනි අවස්ථාවකදී ඇමරිකාව වැනි රටවල් ගන්නා නිර්මාණාත්මක තීරණ සඳහා ශ්‍රී ලංකාව තුල සිටින පිරිසට සම්බන්ධ වීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබේ.

කෙසේ නමුත් මේ වනවිට තරුණ නිර්මාණකරුවන් සඳහා විවිධ ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දෙමින් Randy සඳහන් කොට සිටියේ ඒවායින්ද නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර තලයට යාම සඳහා සෘජු මාර්ග නොපවතින බවයි.

එමෙන්ම වෙනත් රටවලින් මුදල් ගෙන්වා ගැනීමේදීද යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වූ බව ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුල සම්පත් අඩු මට්ටමක මේ වනවිට පවතින බවද පෙන්වා දෙමින් Randy අවසන් වශයෙන් අපත් සමග සඳහන් කොට සිටියේ ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශයන්හි කලා කුසලතාවයන්ගෙන් පරිපුර්ණ බොහෝ පිරිසක් සිටින අතර එවැනි පිරිස සඳහා ශ්‍රී ලංකාව දැඩි සහායක් ලබාදීම තමන් අපේක්ෂා කරන බවයි.


ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්, 
මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට 


Share
Published 7 April 2021 11:17am
Updated 10 May 2021 12:03am
By Nipuna Dodangoda

Share this with family and friends