ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් එක සමානව සිදු කරන බව ඔස්ට්‍රේලියාවේ 40% ක් වැරදි මතයක

2021 වසරේ සිදු කළ ජාතික ප්‍රජා ආකල්ප සමීක්ෂණය මගින් ඔස්ට්‍රේලියානුවන්ට ගෘහස්ථ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයකින් සිටින බව හෙළි වන නමුත්, ඔවූන්ට ඒ ගැන තව බොහෝ දේ ඉගෙනීමට ඇති බව එහිදී හෙළිවී තිබේ.

A woman sitting on a bed covers her face with both hands

Forty-one per cent of Australians mistakenly believe equal rates of men and women perpetrate domestic violence. Source: Getty / aquaArts studio

Key Points
  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් සමානව සිදු කරන බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් 41% දෙනෙකු වැරදි මතයක සිටී.
  • ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ බොහෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ අපරාධකරුවන් පිරිමින් වන බවයි.
  • මධ්‍යම රජය , ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමග එක්ව, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය එක් පරම්පරාවකින් අවසන් කිරීමට අරමුණු කොටගෙන සිටී.
මෙම ලිපියේ පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය පිළිබඳ කරුණු අඩංගු වේ.

ඔස්ට්‍රේලියානුවන් පස් දෙනකුගෙන් දෙදෙනෙක් පිරිමින්ට සමාන අනුපාතයකින් කාන්තාවන් විසින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සිදු කරන බවට වැරදි මතයක් විශ්වාස කරමින් සිටින බව ඔස්ට්‍රේලියාවේ කාන්තා ආරක්ෂාව පිළිබඳ ජාතික පර්යේෂණ සංවිධානය (ANROWS) විසින් නිකුත් කරන ලද සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

වයස අවුරුදු 16 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් 19,000කට වැඩි පිරිසක් 2021 ජාතික ප්‍රජා ආකල්ප සමීක්ෂණයට (NCAS) සහභාගී වූ අතර, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ සමස්ත ආකල්ප වැඩිදියුණු වී ඇති නමුත්, තව බොහෝ දුර යා යුතු බව එහිදී සොයා ගන්නා ලදී.

මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 41%ක් විශ්වාස කළේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් සමානව සිදු කරන බවයි. එය 2009 වසරේ සිදු කළ එම සමීක්ෂණයේදී ලැබුණු අගයට වඩා 23%ක වැඩි වීමකි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ බොහෝ අවස්ථාවන්හි වැරදිකරුවන් පිරිමින් වන අතර, NCAS ස ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 57% ක් පමණක් එය එසේ විය හැකි බවට විශ්වාස කරන බවයි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට එරෙහිව පිරිමින් විසින් සිදු කරන බවට බොහෝ ඔස්ට්‍රේලියානුවන් තේරුම් නොගැනීම අතිශයින් කනස්සල්ලට කරුණක් වන බව ANROWS ප්‍රධාන විධායක නිලධාරිනී පද්මා රමන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 91%ක් ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනය ගැටලුවක් බව විශ්වාස කරන අතර 47% ක් එය ඔවුන්ගේම තදාසන්න ප්‍රදේශයේ හෝ නගරයේ ගැටලුවක් යැයි විශ්වාස කළහ.

මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් එකකට වඩා විශ්වාස කරන්නේ ලිංගික අතවර චෝදනා, කාන්තාවන් විසින් පිරිමින්ට එරෙහිව යාමේ මාර්ගයක් ලෙස භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් වන බවයි. එමෙන්ම දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ නඩු වලට මුහුණ දෙන කාන්තාවන් බොහෝ විට උපක්‍රමශීලීව දරුවන් තමා වෙත ලබා ගැනීම සඳහා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රකාශයන් අතිශයෝක්තියට නංවන බවත් ඔවුන් විශ්වාස කරයි.

හිංසාකාරී සහකරුවෙකු අත් නොහරින කාන්තාවක් අපයෝජනය දිගටම කරගෙන යාමට කොටස්කරුවෙකු ලෙස වගකිව යුතු බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් එකක් විශ්වාස කරනු ලබයි.
NCAS ප්‍රතිඵල සැසදීමේදී, මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් සහකරුවෙකු පාලනය කිරීම ගෘහස්ථ හිංසනයක් වන බවට විශ්වාස කරන පිරිස, 2013 වසරට වඩා 2021 වසරේ 30%ක පමණ වැඩි වීමක් පෙන්නුම් කර තිබේ.

"මෙම සොයාගැනීම් ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ ආකල්පවල සැබවින්ම සතුටුදායක වෙනස්කම් පෙන්නුම් කරන අතර, වින්දිතයින්ට දොස් පැවරීමේ ආකල්ප සහ ස්ත්‍රී දූෂණ මිථ්‍යාවන් නිවැරදි කිරීම සඳහා අප තව බොහෝ දුර යා යුතු වේ" රාමන් මහත්මිය පැවසුවාය.

මධ්‍යම රජය , ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමග එක්ව, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය එක් පරම්පරාවකින් අවසන් කිරීම ඉලක්ක කරයි.
NCAS විසින් පෙන්වා දෙන ලද සමාජීය දැනුමේ මෙම හිඩැස් ඇති තැන්, එම ඉලක්කය කරා ළඟා වීමට රජයන් අවධානය යොමු කළ යුත්තේ කොතැනටද යන්න පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීමට රජයන්ට උපකාර වනු ඇති බව සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth පැවසුවේය.

සියල්ලම එකම දිශාවකට ගමන් කිරීමෙන් අපට මෙය සාක්ෂාත් කරගත හැකි වන නමුත් රජයන්ට එය තනිවම කළ නොහැකි බව ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීම සෑම කෙනෙකුගේම වගකීමක් වන අතර සෑම කෙනෙකුගේම උත්සාහයක් විය යුතුය
සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ "ප්‍රධාන කොටස" වන්නේ "එයට අනුබල දිය හැකි ආකල්ප ආමන්ත්‍රණය කිරීම" යැයි රිෂ්වර්ත් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රතික්ෂේප කරන, සබඳතා තුළ කාන්තාවන්ගේ ස්වාධීනත්වය සීමා කිරීමට උත්සාහ කරන සහ කාන්තාවන් භාවිත කළ හැකි භාණ්ඩයක් සේ සලකන, කාන්තාවන්ගේ කැමැත්ත නොසලකා හරින ආකල්ප මීට ඇතුළත් වන බව ඇය පෙන්වා දුන්නාය.

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු පවුලේ සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හිංසනයෙන් පීඩාවට පත්වුවහොත් 1800 737 732 ට 1800RESPECT අමතන්න නැත්නම් වෙත පිවිසෙන්න. හදිසි අවස්ථාවකදී, 000 අමතන්න.

No to Violence මගින් ක්‍රියාත්මක වන පිරිමි පාර්ශවය සදහා වන සේවාව 1300 766 491 ඔස්සේ සම්බන්ධ කර ගත හැක.

Share
Published 30 March 2023 10:08am
By Amy Hall, Athini Amarasiri
Source: SBS


Share this with family and friends