වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown කාලය දීර්ඝ වේවිද යන්න කීමට ඉක්මන් නොවන බව ප්‍රාන්ත අගමැති කියයි: ජුනි 1දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අද - ජුනි මස 1 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කියවන්න

Melbourne street during lockdown

Melbourne street during lockdown Source: James Ross/AAP

Highlights
  • වික්ටෝරියා ප්‍රාන්තයේ දින 7 ක lockdown කාලසීමාව තවදුරටත් දීර්ඝ කෙරෙන්නේද යන්න ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන බව ප්‍රාන්ත අගමැතිවරයා පවසයි.
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වූ වික්ටෝරියානුවන් 28,000 ක් තමන් පැමිණියේ වික්ටෝරියාවේ කවර ප්‍රදේශයකින් දැයි හෙළිකොට නොමැති බව හෙළිවෙයි.
  • වික්ටෝරියා හි නැවත ඇතිවුණු කොරෝනා ප්‍රජා ආසාදනය හේතුවෙන් වැඩිහිටි නිවාස ගැන වැඩි අවධානයක්
  • ආන්දෝලනයට තුඩු දුන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කෙරේ.
  • රනිල් නැවතත් පාර්ලිමේන්තු යන ලකුණු
  • ශ්‍රී ලංකාවේ දිනක් තුල කොරෝනා මරණ 43ක්
වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලසීමාව තවදුරටත් දීර්ඝ කෙරෙන්නේද යන්න ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන බව ප්‍රාන්ත අගමැතිවරයා පවසයි.

අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය දින 7 ක lockdown කාලසීමාවේ පස්වන දිනයට ළඟාවෙයි. බලධාරීන් අනතුරු අඟවන්නේ මෙම අලුතෙන් හටගත් ප්‍රජා ආසාදන තත්වය අයහපත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

කෙසේවෙතත් මෙම lockdown කාලසීමාව තවදුරටත් දීර්ඝ වනවාද යන්න පිළිබඳව බොහෝ විමසීම් සිදුකෙරෙමින් පවතී.

වැඩබලන ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජේම්ස් මර්ලිනෝ ප්‍රකාශ කර සිටිනුයේ මෙම බ්‍රහස්පතින්දා රාත්‍රී 11:59 න් පසුව අවසන් වීමට නියමිත දින 7 ක lockdown කාලසීමාව තවදුරටත් දීර්ඝ කෙරෙන්නේද යන්න ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන බවයි

අද උදෑසන 9 වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් කොරෝනා ප්‍රජා ආසාදන 3ක් වාර්තා වී තිබේ. එසේම ඊයේ රාත්‍රියේදී වාර්තා වුනු කොරෝනා ආසාදන 6 ක් ද සමඟින් අද, එනම් ජුනි මස 1 දා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදන සංඛ්‍යාව 9ක් ලෙසට සනිටුහන් වේ.

මේ වන විට ප්‍රාන්තය පුරා ස්ථාන 320 කට වැඩි ප්‍රමාණයක් කොවිඩ් වෛරසයට නිරාවරණය වුනු ස්ථාන ලෙස ලැයිස්තුගත කර ඇත. එම ස්ථාන පිලිබඳ සම්පුර්ණ විස්තරය SBS සිංහල සේවයේ වෙබ් අඩවියට ඇතුලත් කොට ඇත. යන වෙබ් අඩවියට පිවිස එහි මුල් පිටුවේ ඉහලින්ම ඇති 'කොරෝනා වෛරසය හා සම්බන්ද තොරතුරු ' යන තීරුවට පිවිසීමෙන් වෛරසයට නිරාවරණය වුනු ස්ථාන පිලිබඳ සම්පුර්ණ විස්තරය ලබාගත හැක.

වික්ටෝරියා හි නැවත ඇතිවුණු කොරෝනා ප්‍රජා ආසාදනය හේතුවෙන් වැඩිහිටි නිවාස ගැන වැඩි අවධානයක්

වික්ටෝරියා හි නැවත ඇතිවුණු කොරෝනා ප්‍රජා ආසාදනය හේතුවෙන් වැඩිහිටි සාත්තු නිවාසවල නේවාසික සේවා ලාභීන් සහ කාර්ය මණ්ඩලය කෙරෙහි නැවත වරක් ප්‍රාන්ත රජයේ දැඩි අවධානය යොමුව තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම උදෙසා, වයස්ගත සත්කාරක නිවාස වල සේවයෙහි යෙදෙන කාර්ය මණ්ඩල වලට පසුගිය නොවැම්බර් මාසයේ සිට පනවා තිබු, එක් ස්ථානයක පමණක් වැඩ කිරීමේ නීතිය ඉවත් කිරීමට මධ්‍යම රජය පියවර ගෙන ඇති බවට ඊයේ දිනයේදී තොරතුරු හෙළිවීමත් සමඟ, මේ පිළිබඳව වන අවධානය තවදුරටත් වර්ධනය වී තිබේ.  

මධ්‍යම රජය විසින් ගත් මෙම තීරණය සම්බන්දව පෙනී සිටිමින් මුදල් අමාත්‍ය සයිමන් බර්මින්හැම් කියා සිටියේ වයස්ගත සත්කාරක සේවා ස්ථානවල නේවාසික වැඩිහිටියන්ට කොරෝනා වෛරස එන්නතෙන් අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී ඇති බැවින් කාර්ය මණ්ඩල විවිද ස්ථාන වල සේවය කිරීම ගැටළුවක් නොවන බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසා සිටිනුයේ වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ කාර්ය මණ්ඩලයෙන් එක් ස්ථානයකට වඩා සේවයෙහි යෙදෙන සංඛ්‍යාව සියයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි.

මේ අතර සියලුම වයස්ගත සත්කාරක සේවා වල සේවයෙහි යෙදෙන කාර්ය මණ්ඩල සඳහා COVID-19 එන්නත අනිවාර්ය කළ යුතුද යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් දැන් සලකා බලමින් සිටී.

ආරම්භක කාල සීමාවේදී COVID-19 එන්නත් ඔස්ට්‍රේලියාවට ළඟාවීම පිළිබඳ තොරතුරු නොමැතිකම නිසා එය මිට පෙර සිදු කිරීමට අපහසු වූ බව වැඩිහිටි සත්කාර ක්ශේස්ත්‍රය හා සම්බන්ද අමාත්‍ය රිචඩ් කොල්බෙක් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය.

කොතරම් ප්‍රමාණයක් ඕස්ට්‍රේලියානුවන් මේ වන විට covid 19 එන්නත්කරණයට බඳුන් වී ඇතිද?

මේ වන විට මිලියන හතරකට අධික ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ COVID-19 එන්නතෙහි පළමු මාත්‍රාව ලැබී ඇති බව සෞඛ්‍ය අංශ සංඛ්‍යා සහ දත්ත වාර්තා හෙළිකොට සිටි.

පසුගිය සතිය තුළ ලක්ෂ 6,00,000 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් කොරෝනා එන්නත ලබාගැනීමට ඉදිරිපත් වී ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා වන දෙවන මාත්‍රාව ලබාදීම මේ සතියේ ආරම්භ වන බැවින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් ජනතාව එහි දෙවන මාත්‍රාව සඳහා ඉදිරිපත් වන ලෙසට මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ජනතාවගෙන් ඉල්ලා සිටී.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වූ වික්ටෝරියානුවන් දහස් ගණනක් තමන් පැමිණියේ වික්ටෝරියාවේ කවර ප්‍රදේශයකින් දැයි හෙළිකොට නොමැති බව හෙළිවෙයි……

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වූ පුද්ගලයින් 28,000 ක් වික්ටෝරියා ප්‍රාන්තයේ තමන් පැමිණි ස්ථානය ගැන විමසමින් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශය විසින් යවනු ලැබූ නිල කෙටි පණිවුඩ සමීක්ෂණයට තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.

වික්ටෝරියා හි සිට දකුණු ඔස්ට්‍රේලියාවට ඇතුළුවුනු පුද්ගලයින් 43, 874 දෙනෙකු අතරින් පසුගිය සති අන්තයේ දී කොරෝනා පරක්ෂණ වලට බඳුන් කල හැකිවූයේ පුද්ගලයින් 4,000 ක් පමණක් බවද සඳහන්.

දකුණු ඕස්ට්‍රේලියාවේ COVID-19 ප්‍රජා සම්ප්‍රේෂණය පැවතිය හැකි බවත් උදාසීන නොවී සෞඛ්‍ය අංශ වල තොරතුරු වලට ප්‍රතිචාර දක්වා කොරෝනා පරීක්ෂණ වලට බඳුන් වන ලෙසටත්, දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනී  නිකොලා ස්පුරියර් පවසා සිටී.

ආන්දෝලනයට තුඩු දුන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කෙරේ……

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කොට තිබේ. ඒ අනුව කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පත්කර ඇත.

ඊට අමතරව එම කොමිසමේ සෙසු සාමාජීකයින් ලෙස මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය, ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් හි - කළමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් ද සිල්වා යන අයවලුන් පත්කොට තිබේ.

රනිල් නැවතත් පාර්ලිමේන්තු යන ලකුණු….

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හිමිකර ගත් සහ තවමත් පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා සුදුසු මන්ත්‍රීවරයෙකු නම් කිරීමට ඊයේ රැස්වුණු පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කොට ඇත.

ඒ අනුව සිය පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සදහා වත්මන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනය කොට සිටියේය.

ශ්‍රී ලංකාවේ දිනක් තුල කොරෝනා මරණ 43ක්….

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 1531 ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 43. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 1484 කි.

** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 1 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි



Share
Published 1 June 2021 5:34pm
Updated 1 June 2021 5:47pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends