Quantas රැකියා කප්පාදුවකට යද්දී Virgin Australia ගුවන් සමාගමෙන් නව ගමනාන්ත 5ක් : මැයි 21 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 21 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Virgin Australia has announced it will be adding Five new routes

Source: Pixabay / Nel_Botha-NZ

Highlights
  • ඔස්ට්‍රේලියා එන්නත්කරන වැඩසටහන ගැන නිසි තොරතුරු ජනතාවට නොයාම ගැන දිගින් දිගටම රජයට චෝදනා එල්ල වෙයි
  • දකුණු ඕස්ට්‍රේලියානු වැසියකු හට AstraZeneca එන්නතෙන් රුධිරය කැටිගැසීමේ තත්වයක්
  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පහතට
  • Virgin Australia ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර ඉහල දැමේ
  • ශ්‍රී ලංකාව lockdown කලයුතු බවට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි
  • ශ්‍රී ලංකා වරාය නගර පනත් කෙටුම්පත තුන්වන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සම්මත වේ

ඔස්ට්‍රේලියා එන්නත්කරන වැඩසටහන ගැන නිසි තොරතුරු ජනතාවට නොයාම ගැන දිගින් දිගටම රජයට චෝදනා එල්ල වෙයි

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමේ වැඩපිළිවෙල ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙරට සෑම වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයකුම කොරෝනා එන්නත ලබාගැනීම සඳහා උනන්දුවක් නොදක්වන බවට වූ සමීක්ෂණ වාර්තාවක් ඕස්ට්‍රේලියානු පුවත් පත් කිහිපයක් මගින් පලකිරීමෙන් පසු ඔස්සේ සෞඛ්‍ය බලධාරීන් මේ බව සඳහන් කොට තිබේ.

මෙම එන්නත්කරන වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු සඳහා පමණක් ඩොලර් මිලියන 40ක් පමණ වැය කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කරයි.

කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රචාරණ කටයුතු ඔස්සේ ඔස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන පිළිබඳව නිසි තොරතුරු ඕස්ට්‍රේලියානුවන් අතරට යාම සිදු නොවන බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියානුවන්ගෙන් 30% පමණ ප්‍රතිශතයක් එන්නත් ලබාගැනීමට උනන්දුවක් නොදැක්වීම මත ඒ සඳහා පිළියම් පිළිබඳව අවධානය යොමු කල යුතු බව Grattan Institute හි සෞඛ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ Stephen Duckett පෙන්වා දෙයි.

කොරෝනා වසංගතයට එරෙහිව එන්නත් ලබාගැනීම සඳහා වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් දිරිමත් කිරීමට නව ප්‍රචාරණ වැඩසටහනක් ඉදිරි සති කිහිපයේදී දියත් කිරීමට නියමිතව තිබේ.

දකුණු ඕස්ට්‍රේලියානු වැසියකු හට AstraZeneca එන්නතෙන් රුධිරය කැටිගැසීමේ තත්වයක්

දකුණු ඕස්ට්‍රේලියානු වැසියකු හට AstraZeneca එන්නත හා සම්බන්ධ රුධිරය කැටි ගැසීමේ තත්වයක් මතුවීම හේතුවෙන් ඔහු හදිසි ප්‍රතිකාර සඳහා යොමු කොට තිබේ.

53 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා හට පසුගිය මැයි මස 4 වැනිදා එන්නත ලබාදී ඇති අතර පසුගිය 18 වැනිදා උදර වේදනාවක් හේතුවෙන් රෝහල් ගතකොට තිබේ.

මීට පෙරද දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ 87 හැවිරිදි කාන්තාවකට මෙවැනිම තත්වයක් වාර්තා වූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.

ප්‍රාන්ත ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Nicola Spurrier සඳහන් කොට සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන නමුත් මෙය මෙම එන්නතය ලබාදෙන සෑම පුද්ගලයින් 100.000 කින් එක් අයකුට ඇතිවිය හැකි දුර්ලභ සිදුවීමක් වන බවයි.

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පහතට

ඔස්ට්‍රේලියාව තුල රැකියා සිදු කරන්නන්ගේ සංක්‍යාව අඩු මට්ටමක පැවතියද මෙරට විරැකියා අනුපාතය 5.5 ක් දක්වා පහත බැස තිබේ.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ සංක්‍යාලේඛන දත්තයන්ට අනුව JobKeeper දීමනාව අවසන් වීමෙන් පසු වූ පළමු මාසය වන පසුගිය අප්‍රේල් මසදී පුද්ගලයින් රැකියා සඳහා යොමුවීම 30,600කින් පමණ පහත වැටී ඇති බවයි.

කෙසේ නමුත් මාර්තු මාසයේ පැවති 5.7%ක් වූ විරැකියා අනුපාතය ක්‍රමයෙන් 5.5% දක්වා අඩු වී ඇති අතර ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු ආර්ථිකය නැවත යතා තත්වයට පත්වෙම සම්බන්ධයෙන් මෙම සන්ක්‍යලේකන දත්ත පෙන්නුම් කරන බවයි.

Virgin Australia ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර ඉහල දැමේ

ඔස්ට්‍රේලියානු Virgin Australia ගුවන් සමාගම සිය ගුවන් ගමන් වාර ඉහල නංවමින් ක්ෂේස්ත්‍රයේ රැකියා සංක්‍යාව වැඩි කිරීමට සැරසේ.

මේ අනුව එක සතියකට ගුවන් ගමන් වාර 700ක් පමණ ඇරඹීමටත් ඒ ඔස්සේ රැකියා සිය ගණනක් නැවත එක් කිරීමටත් බලාපොරොත්තු වන බව එම සමාගම සඳහන් කරයි.

එමෙන්ම Virgin Australia ගුවන් සමාගම,

  • Sydney සිට Darwin දක්වා
  • Sydney සිට Townsville දක්වා 
  • Adelaide සිට Cairns දක්වා
  • Melbourne සිට Townsville දක්වා
  • සහ Perth සිට Cairns දක්වා
නව ගමනාන්ත 5ක්ද එක් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ ඔස්සේ ගුවන් නියමුවන්, ground staff සහ ගමන් මලු හසුරුවන්නන් ඇතුළු ක්ෂේස්ත්‍රයේ රැකියා 250ක් පමණ එක් කිරීමට බලාපොරොත්තු වේ.

මේ අතර සිය ජාත්‍යන්තර ගුවන් කාර්යමණ්ඩලය සඳහා වසර 2ක වැටුප් කප්පාදුවක් සහ රැකියා කප්පාදුවක් සිදු කිරීමට Qantas ගුවන් සමාගම සැරසේ.

Qantas ගුවන් සමාගම් ප්‍රධානි Alan Joyce සඳහන් කොට සිටින්නේ සමාගමේ මුල්‍ය තත්වය ක්‍රමයෙන් දියුණු වන අතර කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා තම සමාගමට ඩොලර් බිලියන 16ක් පමණ අහිමි වී ඇති බවයි

ශ්‍රී ලංකාව lockdown කලයුතු බවට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 3441 දෙනෙකු වාර්තා වී තිබේ. එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංක්‍යාව 1051 දක්වා ඉහල ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කොට සිටින්නේ මෙලෙස වාර්තා වන රෝගීන් හට මීට දින කිහිපයකට පෙර රෝගය වැළඳී ඇති හෙයින් ඉදිරියේදී මීටත් වඩා වැඩි රෝගීන් සංක්‍යාවක් දිනකදී වාර්තා වීමේ හැකියාව පවතින බවයි.

එමන්ම පවතින භයානක තත්වය හමුවේ ශ්‍රී ලංකාව අඛණ්ඩව දින 14ක කාලයක් දක්වා Lockdown තත්වයකට යා යුතු අතර එමගින් මේ වනවිට කොරෝනා වෛරස ව්‍යාප්තිය දැඩි ලෙස අඩු කල හැකි බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කොට සිටී.

ශ්‍රී ලංකා වරාය නගර පනත් කෙටුම්පත තුන්වන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සම්මත වේ

ශ්‍රී ලංකා වරාය නගර පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 91 කින් සම්මත වී තිබේ.

මීට පක්ෂව ඡන්ද 149ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 58ක් ලැබී තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු සාමාජිකයින් 16 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට තිබේ.

ඡන්ද විමසීමේදී රිෂාඩ් බදුයුදීන් ගේ පක්ෂයේ පක්ෂ සාමාජිකයින් දෙදෙනකුද පනත් කෙටුම්පතට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ.


Share
Published 21 May 2021 11:58am
By Nipuna Dodangoda

Share this with family and friends