'කාලීන' විශේෂාංගය: Auckland ප්‍රහාරකයා ලංකාවේදීම ත්‍රස්ත මානසිකත්වයට පත් වී ඇතැයි නවසීලන්ත බලධාරීන්ට සැකයක්

Sri Lankan national was radicalised as a student in NZ, Auckland Attacker's mother says. But security experts are concerned over Sri Lanka

Light traffic moves down a street in Kattankudy, a Muslim-majority town in the eastern province of SL Source: AAP

Get the SBS Audio app

Other ways to listen

Auckland ප්‍රහාරය සිදු කල ශ්‍රී ලංකික පුද්ගලයා සහ ඒ සඳහා පාදක වී ඇති බවට විශ්වාස කරන පසුබිම පිළිබඳව තොරතුරු රැගත් සැප්තැම්බර් 07 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights
  • නවසීලන්තයේ Auckland හි සිදුවීමේ ඇසින් දුටු සාක්ෂි
  • ප්‍රහාරය සිදු කල පුද්ගලයාගේ ඉතිහාසය
  • ප්‍රහාරකයා නවසීලන්තයේදී සිරගත කිරීම
පසුගිය සතියේදී නවසීලන්තයේ Auckland හිදී පුද්ගලයින් කිහිප දෙනෙකුට පිහි ඇනුම් සිදු කල ශ්‍රී ලංකික පසුබිමක් සහිත පුද්ගලයා හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව නැවතත් ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබේ.

මොහු නවසීලන්තයට පැමිණීමෙන් පසු මෙලෙස වෙනස් වූ බවට මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයාගේ මව සඳහන් කලත් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුධමය තත්වය යටතේ මෙම පුද්ගලයා මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමට පෙළඹී ඇතැයිද යන සැකය නවසීලන්ත ආරක්‍ෂක විශේෂඥයින් හට මතුව තිබේ.

නවසීලන්තයේ Auckland හි සිදුවීමේ ඇසින් දුටු සාක්ෂි

පසුගිය සිකුරාදා දින නවසීලන්තයේ Auckland හි සුපිරි වෙළඳසැලක් තුල පුද්ගලයකු සිදු කල පිහි ඇනුම් සම්බන්ධයෙන් නවසීලන්ත පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.

මෙම පුද්ගලයා IS ත්‍රස්ත ජාලයේ අභාෂය ලබා ඇති බවට විශ්වාස කරන අතර එම පුද්ගලයා සාමාන්‍ය වැසියන් පස් දෙනෙකුට පිහි ඇනුම් සිදු කිරීමෙන් අනතුරුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

මෙම පුද්ගලයා හට ශ්‍රී ලාංකික පසුබිමක් පවතින අතර ඔහු නවසීලන්තයට පැමිණ ඉගෙනුම ලබන විට වෙනස් පුද්ගලයකු බවට පත් වූ බව ඔහුගේ පවුල් සාමාජිකයින් පවසයි.

කෙසේ නමුත් ආරක්‍ෂක විශේෂඥයින් සඳහන් කොට සිටින්නේ ශ්‍රී ලංකාව තුල පැවති සිවිල් යුද්ධය හේතුවෙන් තවමත් කැළඹීමකින් පසුවන අතර එහි ප්‍රතිපලයක් වශයෙන් අන්තවාදීන් බිහි වී ඇති බවයි.

මෙම සිදුවීම වන අවස්තාවේ එම සුපිරි වෙළඳසැලෙහි සිටි Monica Seve පවසන්නේ තමන් එම සුපිරි වෙළඳසැලට ඇතුළු වී මිනිත්තු කිහිපයකින් කාන්තාවන් කෑ ගසන ශබ්දයක් ඇසුණු බවයි.

එමෙන්ම තමන් එම ශබ්දය ඇසුණු දෙසට ඇවිද ගිය බවත් සෑම දෙනෙකුම කෑ ගසමින් ආපසු හැරී දිව ගිය බවත් ඇය පවසනවා. එමෙන්ම Monica සඳහන් කොට සිටින්නේ තුවාල ලත් කාන්තාවක් ඒ වනවිට එම ස්ථානයේ සිටි නමුත් කිසිවෙකුත් උදව් නොකළ බවයි.

එමෙන්ම තමන් ඒ වනවිටත් කම්පනයට පත්ව සිටි එම කාන්තාව ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන ගොස් ලේ ගැලීම වැලක්වීමට කටයුතු කල බවත් ඇය මේ වනවිට ආරක්‍ෂිත බවට දැනගැනීමට ලැබුණු බවත් Monica වැඩිදුරටත් පවසයි.

නවසීලන්තය මෙම සිදුවීම සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන අතර මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයා IS ත්‍රස්ත ජාලය සම්බන්ධයෙන් දිරිමත් වූ එහි ආභාෂය ලැබූ පුද්ගලයකු බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

ප්‍රහාරය සිදු කල පුද්ගලයාගේ ඉතිහාසය

මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයා 32 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට නවසීලන්තයට පැමිණ ඇති Ahamed Samsudeen නැමැත්තෙකු වෙයි.

කාත්තන්කුඩි ප්‍රදේශය ශ්‍රී ලංකාවේ නැගෙනහිරින් පිහිටි කුඩා ජනාවාසයක් සහිත ධීවර නගරයක් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුස්ලිම් ප්‍රජාව වේ.

පසුගිය සමයේ ශ්‍රී ලංකාව තුල පැවති සිවිල් යුද්ධය හේතුවෙන් මෙම ප්‍රදේශය දැඩි පීඩනයකට ලක් වූ අතර 1990 වසරේදී දමිල LTTE ත්‍රස්ත සාමාජිකයින් මෙම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 4 ක් වටලා මුස්ලිම් බැතිමතුන් 147 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම ද සිදු කළේය.

එමන්ම 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සාමාජිකයින් අතරද කාත්තන්කුඩි ප්‍රදේශයේ වැසියන් දෙදෙනකු සිටින බව වාර්තා වේ.

නවසීලන්තයේ මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයා මීට වසර 10කට පමණ පෙර සරණාගතභාවය ලබා ගැනීමේ අරමුණින් ශිෂ්‍ය වීසා යටතේ නවසීලන්තයට පැමිණ තිබේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඔහුගේ මව වන Mohamedismail Fareetha පවසන්නේ ඔහු මීට වසර 5කට පමණ පෙර අනතුරකට මුහුණ දුන් අතර ඉන් අනතුරුව ඔහුට උපකාර කල සිරියානු සහ ඉරාක ජාතිකයින් ඔහුගේ චින්තනය සම්පුර්ණයෙන්ම වෙනස් කොට ඇති බවයි.

මේ කාලය තුලදී අන්තර්ජාලය හරහා මෙම පුද්ගලයා සිදු කරන ත්‍රස්ත සහාය සම්බන්ධයෙන් නවසීලන්ත පොලිසිය හඳුනාගෙන තිබු අතර ඔහු වරක් Auckland ගුවන්තොටුපලේ රඳවා ගැනීමද සිදු කොට තිබේ.

මෙම පුද්ගලයා IS ත්‍රස්ත ජාලයට සම්බන්ධ වීමේ අරමුණින් සිරියාව බලා පිටත් වීමට සුදානම්ව සිටි බව බලධාරීන් පවසයි.

මෙම සිදුවීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැර ඇති අතර ඉන් අනතුරුව ඔහු දැඩි ලෙස වෙනස් වූ බව ඔහුගේ මව පවසයි.

ඇය සඳහන් කොට සිටින්නේ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පවුලේ සාමාජිකයින් සමග තිබු සම්බන්ධතාවය අඩු කල අතර විදෙස් ගතවීමෙන් අනතුරුව ඔහු වෙනස් වූ බවයි.

ප්‍රහාරකයා නවසීලන්තයේදී සිරගත කිරීම

Ahamed Samsudeen IS ත්‍රස්ත සංවිධානයේ වීඩියෝ සහ පිහි ළඟ තබාගැනීම හේතුවෙන් 2018 වසරේදී වසර 3ක් සඳහා සිරගත කෙරුණු අතර ඊට පසු වසරේදී ඔහු සිය සරණාගතභාවය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ලබාදීම මත ඔහුගේ සරණාගතභාවයද අහෝසි වී තිබේ.

මෙම පුද්ගලයාගේ සරණාගත වීසා අවලංගු වීම හේතුවෙන් ඔහු පිටුවහල් කිරීමට නවසීලන්ත රජය කටයුතු කලත් අපරාධ නඩු විභාගය අවසන් වන තුරු මැයි මාසය දක්වා තබන ලෙසට අභියාචනා කොට තිබේ.

අනතුරුව ඔහුව රඳවා තබා ගන්නා ලෙස නවසීලන්ත ආගමන බලධාරීන් කළ ඉල්ලීම් නොසලකා හරින ලද අතර ජූලි මාසයේදී ඔහු නිදහස් කොට තිබේ.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Grant Robertson මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ මේ කාලය පුරා මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයා සිරගතව සිට ඇති අතර ඒ හේතුවෙන් ඔහු පිටුවහල් කිරීමේ කටයුතු ඇනහිට ඇති බවයි.

නමුත් එම තත්වය වෙනස් කිරීම යහපත් පියවරක් වන අතර සිදුවිය යුතු නීති වෙනස්කම් සම්බන්ධයෙන් අඛණ්ඩව සොයාබලන බවයි.

මෙම සිදුවීමත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සහ අන්තවාදී ක්‍රියාකාරීන්ගේ තර්ජන සම්බන්ධයෙන් නැවතත් අවධානයක් යොමු වී ඇති අතර 2009 වසරේදී සිවිල් යුද්ධය නිමා වුවත් එමගින් ඇති වූ බලපෑම තවමත් තුරන්ව ගොස් නොමැත.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අසංග අබේගුණසේකර පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ අන්තවාදී පිරිස් බිහිවීම සිදු නොවීම සඳහා ශ්‍රී ලංකාව සමාජය තුල සිදුවෙමින් පවතින දේ පිළිබඳව අවධානය යොමු කලයුතු බවයි.

එමෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් මිත්‍ර හමුදා ඉවත් කර ගැනීම ආසියා පැසිෆික් කලාපය පුරා ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට බලපාන බවටද අනතුරු අඟවමින් අසංග අබේගුණසේකර පෙන්වා දෙන්නේ කෙසේ නමුත් කලාපීය ආරක්ෂාව සමතුලිත කිරීම සඳහා චීනය හෝ රුසියාව කටයුතු කිරීමක් තමන් නොදකින බවයි.


Share