ඕස්ට්‍රේලියාවේ working Holiday Visa ක්‍රමය අහෝසි කොට ආසියාවෙන් නව ශ්‍රමිකයින් ගෙන්වීමට යයි: ජූනි 17දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

කියවන්න ජුනි මස 17 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන්

There are 140,000 people on working holiday visas in Australia

Source: SBS News/Omar Dehen

Highlights
  • Working Holiday Visa ක්‍රමය අහෝසි කොට නව කෘෂිකාර්මික වීසා කණ්ඩයක් හඳුන්වා දීමට යයි
  • මෙරට සේවක අවම වැටුප ඉහල නැංවීමට Fairwork කොමිෂන් සභාව තීරණය කරයි
  • රියදුරෙක් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොරෝනා අවධානමක්
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක කොරෝනා සීමා කිරීම් අද මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කෙරේ
  • ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාශභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරයි.
Working Holiday Visa ක්‍රමය අහෝසි කොට නව කෘෂිකාර්මික වීසා කණ්ඩයක් හඳුන්වා දීමට යයි 

ඕස්ට්‍රේලියානු ගොවිපොළ වල සේවය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික බැක් පැකර් වරු යොදාගැනීම වෙනුවට ගිනිකොන දිග ආසියාතික කලාපයේ ශ්‍රමිකයින් අස්වනු නෙලන සෘතු වලදී සේවය සඳහා ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවෙයි.

බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් පවතින working holiday visa ක්‍රමය අහෝසි කිරීමට එමඟින් බලාපොරොත්තු වේ. එවිට මෙරට ගොවිපොළ වල සේවය සඳහා අවශ්‍ය සේවක හිඟය 10,000ක් පමණ වනු ඇති බවට ඇස්තමේන්තු කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් සඳහන් කොට සිටී.

නමුත් ඔහු පවසන පරිදි මෙම අහෝසි වන working holiday visa වීසා කාණ්ඩය වෙනුවට නව කෘෂිකාර්මික වීසා ක්‍රමයක් යටතේ ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන නැෂනල්ස් පක්ෂය, දැනටමත් රජය සමඟ එකඟතාවකට පැමිණ තිබේ. 

ගොවිපොලවල සේවයට පැමිණෙන බැක්පැකර් වරුන්ගේ හිඟය පිරවීමට කටයුතු කරන බව නැෂනල්ස් පක්ෂයේ නායක මයිකල් මැකෝර්මැක් ගොවීන්ට සහතික කොට සිටී.

කෙසේවෙතත් මෙම හඳුන්වා දීමට යන නව කෘෂිකාර්මික වීසා කාණ්ඩය නිසා ගිනිකොන දිග ආසියාතික රටවලින් මෙරටට පැමිණෙන කම්කරුවන් ශ්‍රම සුරාකැමකට ලක්වීමට ඉඩ ඇති බව, මේ පිළිබඳව කණස්සල්ල පළකරමින් ඕස්ට්‍රේලියානු කම්කරු සංගමය සඳහන් කොට සිටී

ඕස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහල නැංවීමට Fairwork කොමිෂන් සභාව තීරණය කරයි

මෙරට සේවක අවම වැටුප ඉහල නැංවීමට Fairwork කොමිෂන් සභාව තීරණය කරයි. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ අඩුම වැටුප් ලබන බොහෝ පුර්ණකාලින සේවකයින් හට සතියකට ඩොලර් 20 කට ආසන්න අමතර ආදායමක් ලැබෙනු ඇත.

නව යෝජනාවට අනුව ඕස්ට්‍රේලියාවේ අවම වැටුප් ප්‍රමාණය සියයට 2.5 කින් ඉහල නැංවේ. ඒ අනුව මෙරට පුර්ණකාලින සේවකයෙකු සඳහා අවම වැටුප සතියකට ඩොලර් 772 දක්වා ඉහල නැංවෙන අතර පැයකට ගෙවිය යුතු අවම වැටුප ඩොලර් 20 සහ ශත 33 දක්වා ඉහළ යනු ඇත.

ගුවන් සේවා ක්ෂේස්ත්‍රය, ශාරීරික යෝග්‍යතා, සංචාරක සහ සිල්ලර වෙළඳ යන අංශවල සේවකයින්ට ඔවුන්ගේ වැටුප් වැඩිවීම ආරම්භ වීම මේ වසරේ නොවැම්බර් 1 දා දක්වා ප්‍රමාද වේ. නමුත් අනෙකුත් ක්ෂේස්ත්‍ර වල සේවකයින් හට ජූලි 1 වනදා සිට වැටුප් වැඩිවීම ක්‍රියාත්මකයි.

ඕස්ට්‍රේලියාවේ මේ වන විට ශ්‍රමිකයෙකු වෙනුවෙන් ගෙවිය යුතු අවම වැටුප පයකට ඩොලර් 18.80 කි.

කෙසේ වෙතත් මෙම වැටුප් වැඩිවීම ඉතා ඉහළ බවට, ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර හා සේවා යෝජක කණ්ඩායම් කනස්සල්ල පළ කර තිබේ.

රියදුරෙක් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොරෝනා අවධානමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර ගුවන් ගමන් කාර්යමණ්ඩල ප්‍රවාහනය කරනු ලබන රියදුරෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුව තිබේ. වයස අවුරුදු 60 ක වයසේ පසුවන මෙම පුද්ගලයා සිඩ්නි හි නැගෙනහිර  කලාපයේ ප්‍රදේශ වල සංචාරය කොට ඇති බැවින් එම ප්‍රදේශයේ Bondai Junction, Vaucluse, North Ryde, Moree, Dubbo, Forbes, Redfern, සහ Zetland යන ප්‍රදේශ, වෛරසයට නිරාවරණය වුනු ප්‍රදේශ ලෙසට හඳුනාගෙන තිබේ.

එසේම විදේශ වලසිට සිඩ්නි හි හෝටල් නිරෝධායනය සඳහා පැමිණි ඇතැම් පුද්ගලයින් අතර ද COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වේ.

සිඩ්නි හි රැඩිසන් බ්ලූ නිරෝධායන හෝටලයේ එකම මහලේ නැවතී සිටි යුවළකගෙන් විදේශයක සිට පැමිණි තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න තවමත් අනාවරණය කොටගෙන නොමැත. මෙම තිදෙනාම එකම ගුවන් යානයකින් දෝහා සිට සිඩ්නි දක්වා පැමිණ ජුනි 1 වන දින සිට යාබද කාමරවල නැවතී සිට ඇති බව වාර්තා වේ.
වෛරසයේ ප්‍රවේණික අනුක්‍රමණ වාර්තා පෙන්නුම් කරන්නේ තිදෙනාටම ආසාදනය වී ඇත්තේ එකම කොරෝනා වෛරස ප්‍රභේදයක් බවයි. මේ වන විට ඔවුන් තිදෙනා විශේෂ නවාතැන් වෙත මාරු කර යවා ඇත.

මෙය සිදුවුයේ වූයේ කෙසේදැයි බලධාරීන් විමර්ශනය කරමින් පවතින බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් සඳහන් කොට සිටියාය.

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක කොරෝනා සීමා කිරීම් අද (17 June) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කෙරේ

එළිමහනේ දී මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් පිටත අනිවාර්ය නොවන අතර ගෘහස්ත ස්ථාන වලදී එය පැළඳීම අ අනිවාර්ය නොවේ. එසේම ග්‍රේටර් මෙල්බර්න් හි කිලෝමීටර් 25 කට සීමා වී තිබුණු සංචරණ සීමාව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව අහෝසි වේ.

පුද්ගලයන් දෙදෙනෙකුට වෙනත් නිවසකට යා හැකි අතර එළිමහන් රැස්වීම්වලට පුද්ගලයින් 20 දෙනෙකු හට සහභාගී වීමට අවසර හිමිවේ. එසේම ජිම්, ගෘහස්ථ විනෝදාස්වාද සපයන ස්ථාන සහ ක්‍රීඩා ස්ථාන නැවත විවෘත කිරීමට හැකි වේ.

අවශ්‍ය විටෙකදී භාවිතයට ගැනීම සඳහා මුහුණු ආවරණ රැගෙන යන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය ජේම්ස් මර්ලිනෝ පවසා සිටී. එසේම මෙම නව සීමා කිරීම් පිළිබඳව සතියකින් අනතුරුව නැවත සමාලෝචනය කෙරෙනු ඇති අතර අවශ්‍ය නම් තවදුරටත් ලිහිල් කිරීම් සිදුවෙනු ඇති බවද ඔහු සඳහන් කොට සිටී.
 ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධාන පුවත් කිහිපයක්


ගම්මන්පිලට එරෙහි විශ්වාශභංගයට ස.ජ.බ අත්සන් තබයි

ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාශභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කොට තිබේ. මෙම විශ්වාස භංගයට අත්සන් තැබීම ඊයේ දිනයේදී පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවින.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී දිව්රුම් දීමට සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරි පත් කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව

රනිල් වික්‍රමසිංහ මහතා මේ 23 දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී දිව්රුම් දීමට නියමිතව තිබේ.

1977 සිට 2019 දක්වා නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති ඒ මහතා ශ්‍රී ලංකාවේ පස් වරක් අගමැති පදවිය දරා ඇති අතර, ප්‍රබල ඇමැති ධුර ගණනාවක් දරමින් වසර 42 ක කාලයක් ශ්‍රී ලංකා සක්‍රීය දේශපාලනයේ රැඳී සිටී.

ශානි තවදුරටත් රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට අදාලව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 30 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඊයේ නියම කොට තිබේ.

ගතවුණු පය 24 තුල  ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය

ගතවුණු පය 24 තුල  ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 59ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද මෙරට වේලාවෙන් උදෑසන වන විට පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යා 2374ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනය නිමාවන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2419 කි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,94,145 කි.

පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 17 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකිය

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


 

 

 

 

 

 

 

 

 

 

 


Share
Published 17 June 2021 6:56pm
Updated 17 June 2021 7:04pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends