ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ වේගය තවත් වැඩි කිරීමට පර්යේෂණ කරන ලංකාවේ පර්යේෂකයා - උදාන බණ්ඩාර (SBS සිංහල/ විමර්ශන)

කැන්බරා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ශ්‍රී ලංකාවේ උදාන බණ්ඩාර ක්‍රීඩා විද්‍යාව තුලින් ක්‍රිකට් ක්‍රීඩක කුසලතා පිලිබදව පර්යේෂණ සිදු කරයි.

Udana Bandara - Sri Lankan researcher researches to increase the speed of Australian bowlers

Udana Bandara - Sri Lankan researcher researches to increase the speed of Australian bowlers Source: Supplied: Udana Bandara

ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රධානතම පස මිතුරු ක්‍රිකට් කණ්ඩායම් ගොන්නට ප්‍රධාන ලෙස අයත් වන රටක් ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වීමට හැකියි.

නමුත් එදා පටන් අද දක්වා ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු උදව් උපකාර අති මහත්ය.

ඒ කෙසේවෙතත්, ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ක්‍රීඩා විද්‍යාවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සමග පර්යේෂණ කරන අපූරු ශ්‍රී ලාංකික තරුණයෙකු SBS සිංහල ගුවන් විදුලියට හමුවුණා.

ඔහු නමින් උදාන බණ්ඩාර.


Highlights

  • ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පන්දු යැවීමේ වේගය වැඩි කරන්නට උදාන උත්සහ ගනිමින් සිටිනවා.
  • මෙහි ප්‍රතිඵල ලංකාව ඇතුළු දකුණු ආසියාතික ක්‍රීඩකයින්ටත් ලබාදීමට උදාන අපේක්ෂා කරනවා.
  • ක්‍රීඩා විද්‍යාව නිසි ලෙස යොදාගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බවද ඔහු සඳහන් කළා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සමග පර්යේෂණ කරන ශ්‍රී ලාංකික තරුණයා

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වෙසෙන උදාන බණ්ඩාර කැන්බරා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක්.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සමග ඔහු නියැලී සිටින කටයුත්ත පිළිබඳව ඔහු SBS සිංහල ගුවන් විදුලියට මෙලෙස පැහැදිලි කළා.

"පාදවල තිබෙන දැඩි බව මලල ක්‍රීඩකයින්ගේ දක්ෂතාවලට බලපාන්නේ කොහොමද කියලා දැනට ලෝකයේ පර්යේෂණ කරලා තිබෙනවා. ඒ කියන්නේ දුවද්දී පනිද්දී අපේ ශරීරය කඩා වැටෙන්නේ නැතුව අපේ ගම්‍යතාව ඒ විදියටම තබාගෙන ඒ අවශ්‍ය ශක්තිය ජනනය කරගෙන දුවන පනින ක්‍රියාවල නිරත වෙන්නේ කොහොමද කියලා ලෝකේ දැනට පර්යේෂණ කරලා තිබෙනවා. නමුත් මේ ක්‍රමවේදය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පරීක්ෂා කරලා නැහැ. ඉතින් මම ඇතුළු පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තුවෙනවා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉනෙන් පහළ කොටස (lower extremity) සහ මුළු ශරීරයේ දැඩි බව පන්දු යැවීමේ වේගයට සම්බන්ධයක් තිබෙනවද කියල හොයලා බලන්න."

ක්‍රිකට් ක්‍රීඩාවේ වේග පන්දු යවන්නන් වේගයෙන් පන්දුව යැවීමේදී ඒ සඳහා බලපාන ජීව යාන්ත්‍රනික විශේෂතා මොනවාද කියා දැනට සොයාගෙන තිබෙන බව උදාන බණ්ඩාර SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉනෙන් පහළ කොටසේ සහ මුළු ශරීරයේ Joint stiffness වර්ධනය කරන්න පුහුණුවීම් ක්‍රමව්දයක් හදලා ඒක හරහා පන්දු යැවීමේ වේගය වැඩි කරන්නට උදාන උත්සහ ගනිමින් සිටිනවා.

පන්දු යවන්නන්ට සහ පුහුණුකරුවන්ට මේ ක්‍රමය විශාල වශයෙන් උපකාර වනු ඇති බවද ඔහු අපිට පැවසුවා.

"මෙහිදී අපි පන්දු යවන්නන්ගේ ඉරියව් විශේෂිත කැමරා වලට හසුකරගෙන ඒවා ජීව යාන්ත්‍රනික ලෙස අධ්‍යනයකට ලක් කරලා biomechanical analysis හෙවත් ජෛව යාන්ත්‍රික විශ්ලේෂණයක් සිදුකර බලනවා මොනවද අපිට වේග පන්දු යවන්නන්ගේ වේගය වැඩි කරන්න කරන්න පුළුවන් කියලා." යනුවෙන් ද උදාන ඔහුගේ පර්යේෂණය පිළිබඳ තවත් පැහැදිලි කිරීමක් අපිට ලබා දුන්නා.
Udana Bandara - Sri Lankan researcher researches to increase the speed of Australian bowlers
Udana Bandara - Sri Lankan researcher researches to increase the speed of Australian bowlers Source: Supplied: Udana Bandara

මෙහි ප්‍රතිඵල ලංකාව ඇතුළු දකුණු ආසියාතික ක්‍රීඩකයින්ටත්

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වේග පන්දු යවන ක්‍රීඩකයින් බහුලවම බිහිවී තිබෙන්නේ ඔස්ට්‍රේලියාව වැනි රටවල.

නමුත් පාකිස්තානයේ හැරුණුකොට ලංකාව ඇතුළු සෙසු දකුණු ආසියානු රටවල පැයට කිලෝ මීටර් 140 - 150 පමණ වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයින් සාපේක්ෂව ඉතා අඩුයි.

ඒ අනුව ලංකාව ඇතුළු සෙසු දකුණු ආසියානු රටවල වේග පන්දු යවන ක්‍රීඩකයින්ගේ පන්දු යැවීමේ වේගය වැඩි කරගැනීමට හැකි නම් එය ඒ රටවල ක්‍රිකට් ක්‍රීඩාවට විශාල වාසියක් අත්කරදෙන බව පර්යේෂක උදාන බණ්ඩාර SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.
"විශේෂයෙන් ලංකාවේ වේග පන්දු යවන්නන්ට පන්දුව හොඳින් දෝලනය කරන්න පුළුවන්, නමුත් පැයට කිලෝ මීටර් 140 - 150 වගේ වේගයෙන් පන්දු යැවීමට බැහැ. ඉතින් මේ දෙකම කරන්න පුළුවන් පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවෙන් බිහිකරගන්න අපි පර්යේෂණය කරන ක්‍රම වේදයට පුළුවන් වුණොත් ලංකාවට වගේම දකුණු ආසියාවේ අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට ඉතා දක්ෂ වේග පන්දු යවන්නන් බිහි කිරීමට පුළුවන් වේවි." උදාන ඔහුගේ අරමුණ අපිට තවත් පැහැදිලි කළා.
University of Canberra
Source: Facebook/ University of Canberra

ක්‍රීඩා විද්‍යාව යොදාගැනීම ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත්ද?

ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සිටියත් ඔවුන්ට ක්‍රීඩා විද්‍යාව පිළිබඳ ඇති දැනුම අල්ප බව සහ ක්‍රීඩා විද්‍යාවත් සමග එකතු නොවීම නිසා ලංකාවේ බොහෝ ක්‍රීඩකයින් ජාත්‍යන්තරයේ දක්ෂකම් පෑමට අපොහොසත් වී තිබෙනවා.

වර්තමාන ලෝකය ගත් විට ක්‍රීඩාව යනු ක්‍රීඩකයා සහ පුහුණුකරුවා අතර පවතින සුසංයෝගය පමණක් නෙමෙයි. ඒ සඳහා බොහොමයක් පිරිස් එකතුවී සිටිනවා.
ඔස්ට්‍රේලියාවෙන්ම උදාහරණ රැගෙන මේ බව උදාන බණ්ඩාර සනාථ කළා.

"කැන්බරා විශ්ව විද්‍යාලය, ක්‍රීඩාව පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය, Research Institute for Sport and Exercise වැනි ආයතන ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ව ඔවුන් කුඩා කාලයේ සිටම නිරීක්ෂණය කරනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඇති දක්ෂ ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවෙන් බිහිවීම." යනුවෙන් උදාන SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.

එනිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩා විද්‍යාඥයින්, ක්‍රීඩා වෛද්‍යවරුන්, භෞතචිකිත්සකයින් යනාදී ක්‍රීඩාවත් සමග සිටින සියලුදෙනා එකට එකතුව ක්‍රීඩාවට අදාළ දැනුම හුවමාරු කරගනිමින් දිගු කාලීන ඉලක්කයක් තබාගෙන එකට කටයුතු කළොත් ශ්‍රී ලංකාවට ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් විශාල දියුණුවක් ලබාගැනීමට හැකි බවද පර්යේෂක උදාන බණ්ඩාර අපට අවසන් වශයෙන් සඳහන් කළා.

Share
Published 31 August 2021 3:23pm
Updated 31 August 2021 3:26pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends