ඔස්ට්‍රේලියාවේ දේශ සීමා නොවැම්බරයේ විවෘත කෙරේ, සම්පුර්ණ විස්තරේ මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් එන්නත ලබා ගැනීමේ ප්‍රතිශතය 80% මට්ටමට ඒ වන විට ළඟා වන බැවින් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

A Qantas repatriation flight arrives in Australia.

A Qantas repatriation flight arrives in Australia. Source: AAP

වසා දමා ඇති ඔස්ට්‍රේලියාවේ දේශ සීමා එළඹෙන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

මේ බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අද (01/10) නිවේදනය කළේය.


Highlights

  • පළමු අදියරේදී කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිලාභීන්ට විදෙස් සංචාර සඳහා යාමට අවසර ලැබේ.
  • විදෙස් සංචාර නිමවා ආපසු පැමිණෙන ඔවුන් දින 7 ක් නිවසේ නිරෝධායනය විය යුතුය.
  • අනෙකුත් ඔස්ට්‍රේලියානු වීසා ලාභීන් සඳහා ජාත්‍යන්තර සංචාර නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය තවමත් සලකා බලමින් සිටින බව සඳහන්.

ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් එන්නත ලබා ගැනීමේ ප්‍රතිශතය 80% මට්ටමට ඒ වන විට ළඟා වන බැවින් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ඒ සමග ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අපේක්ෂාවෙන් සිටින ඔස්ට්‍රේලියානුවන්ට ඒ සඳහා තවදුරටත් මධ්‍යම රජයේ අවසරය ලබාගැනීමට අවශ්‍ය නොවේ.
විදේශගත වීමට කැමති ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරි සතිවලදී ජාත්‍යන්තරව පිළිගත් කොවිඩ් එන්නත් සහතිකයක් ලබා දීමට කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අද පැවසීය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

එම තහනම විටින් විට දීර්ග කෙරුණු අතර මේ වන විට එය මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් ක්‍රියාත්මක වෙමින් පවතී.

විදෙස් සංචාර සඳහා අවසර ඇත්තේ කාහටද?

පළමු අදියරේදී කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිලාභීන්ට විදෙස් සංචාර සඳහා යාමට අවසර ලැබෙන බව මධ්‍යම රජය පැවසීය.

එලෙස විදෙස් සංචාර නිමවා ආපසු පැමිණෙන ඔවුන් දින 7 ක් නිවසේ නිරෝධායනය විය යුතුය.

එසේම එන්නත් ලබා නොගත් සහ ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය නොලද කොවිඩ් එන්නත ලබා ඇති උදවිය වෙතොත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණිමේදී දින 14 ක් අනිවාර්යෙන් හෝටල් නිරෝධායනයේ සිටිය යුතුය.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ඔස්ට්‍රේලියානුවන්ට රට තුළට පැමිණීමට හෝ පිටව යාමට සංචාරක සීමාවන් නොමැත.
වයස අවුරුදු 12 ට අඩු හෝ රෝගී තත්ත්වයක් ඇති අයෙකු නිසා කොවිඩ් එන්නත ලබා ගත නොහැකි ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් ද විදෙස් සංචාර යාමේ අරමුණින් කොවිඩ් එන්නත් ගත් පුද්ගලයින් ලෙස හඳුන්වයි.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිලාභීන් නොවන අනෙකුත් ඔස්ට්‍රේලියානු වීසා ලාභීන් සඳහා ජාත්‍යන්තර සංචාර නැවත විවෘත කිරීම පිළිබඳ වැඩිදුර තීරණ තවමත් සලකා බලමින් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
Prime Minister Scott Morrison speaks to the media during a press conference at the Lodge in Canberra, Friday, October 1, 2021.
Prime Minister Scott Morrison speaks to the media during a press conference at the Lodge in Canberra, Friday, October 1, 2021. Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගත යුතු කොවිඩ් එන්නත් වර්ග

මේ වන විට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය මගින් අනුමත කර ඇති එන්නත් වර්ග ලෙස Pfizer, AstraZeneca සහ Moderna දැක්වේ.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා Sinovac සහ Covishield එන්නත්ද ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇති බව ඔස්ට්‍රේලියාවේ අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

සම්පුර්ණයෙන්ම කොවිඩ් එන්නත් ලබා ඇති ඔස්ට්‍රේලියානුවන්ට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සංචාරක උපදෙස් වලට යටත්ව නිදහසේ විදේශ රටවලට යාමට හැකිය.

නවසීලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල් මෙන්ම දකුණු පැසිෆික් කලාපීය රටවල් සමග ද නිරෝධායනය අවශ්‍ය නොවන සංචාරක මාර්ග විවෘත කිරීමට මධ්‍යම රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 1 October 2021 6:43pm
Updated 12 August 2022 3:00pm
By Tom Stayner, Anna Henderson, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends