අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවාසින්ට AstraZeneca එන්නත ලබා දීම ඇරඹේ: මැයි 04 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 04 වන දා අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

WA Premier Mark McGowan is seen receiving his first dose of the COVID-19 AstraZeneca vaccination in Perth, Monday, 3 May, 2021.

WA Premier Mark McGowan is seen receiving his first dose of the COVID-19 AstraZeneca vaccination in Perth, Monday, 3 May, 2021. Source: AAP

Highlights

  • වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවාසින්ට AstraZeneca එන්නත ලබා දීමට පියවර.
  • ඉන්දියාවට පැනවූ සංචාරක තහනම මැයි 15ට පෙර සමලෝචනය කරන බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්.
  • ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂයට බහුතරය නොලැබුණොත් ඉල්ලා අස්වීමට සූදානම් බව ටස්මේනියා ප්‍රාන්ත අගමැති පවසයි.
  • ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 13 ක් වාර්තා වී තිබේ.
  • විදුලි මෝටර් රථ සඳහා වික්ටෝරියානු ප්‍රාන්තරජය නව බද්දක් යෝජනා කරයි.
  • නවසීලන්තය Cook දූපත් සඳහා ද නිරෝධායනය රහිත ගුවන් ගමන් ආරම්භ කරයි.
  • බංගලාදේශ - ශ්‍රි ලංකා දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 209 ක විශිෂ්ට ජයක්.
  • තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවාසින්ට AstraZeneca එන්නත ලබා දීමට පියවර

වයස අවුරුදු 50 ට වඩා වැඩි සෑම ඔස්ට්‍රේලියානුවාසියෙකුටම දැන් AstraZeneca එන්නත ලබාගැනීමට හැකියාව තිබේ.

ඊයේ පටන් මෙම AstraZeneca එන්නත සෑම ප්‍රාන්තයකම ක්‍රියාත්මක කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයකදීම වයස අවුරුදු 50 ට වඩා වැඩි පුද්ගලයින්ට ලබාගත හැකිය.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ 2b අදියර යටතේ එන්නත් කිරීම මැයි 17 සිට පවුලේ වෛද්‍යවරුන්ගේ සැත්කම් දක්වා පුළුල් කෙරේ.

මෙම අදියර සඳහා කොරෝනා එන්නත් මිලියන 15.8 ක් ඇති අතර ඒ අනුව මීට පෙර අදියරේදී එන්නත ලබා නොගත් පුද්ගලයින් හටද මේ අදියරේදී එන්නත ලබාගත හැකිය.

ඉන්දියාවට පැනවූ සංචාරක තහනම මැයි 15ට පෙර සමලෝචනය කරන බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්

ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

ඉන්දියාවේ මේ වන විට පවතින බරපතල කොරෝනා තත්ත්වය හේතුවෙන් මැයි 15 තෙක් ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට ඕනෑම පුද්ගලයෙකු හට ඇතුළුවීම  තහනම් කර තිබේ.

මෙම තහනම උල්ලංඝනය කරන පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ නීතිය යටතේ පස් වසරක සිර දඬුවමක් හෝ $66,000 ක දඩයක් හිමිවනු ඇත.

කොරෝනා වයිරසය නිසා ඉන්දියාවේ මේ වන විට මියගිය පිරිස 219,000 කට ආසන්න අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව මිලයන 20 කට ආසන්න වේ.

මේ මොහොතේ ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට උපකාර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට සදාචාරාත්මක බැඳීමක් ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්දියානු සංගම්හි සම්මේලනයේ සභාපති ආචාර්ය යාදු සිං පවසයි.

ඔස්ට්‍රේලියානු රජය ගනු ලැබූ මෙම තීරණය වර්ණවාදී තීරණයක් බව බොහෝ ඉන්දියානුවන් සිතන බවද ආචාර්ය යාදු සිං පවසයි.

නමුත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrisson එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කෙසේවෙතත්, ඉන්දියානු පසුබිමක් ඇති අය පමණක් නොව සියලුම ඔස්ට්‍රේලියානුවන් මෙම තීරණයට විරුද්ධව නැගී සිටිය යුතු බව කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Ed Husic සඳහන් කරයි.

මේ අතර ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට පැනවූ සංචාරක තහනම පිළිබඳ සමලෝචනය කිරීමට මැයි 15 තෙක් බලා නොසිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.

ඉන්දියාවට පැනවූ මෙම සංචාරක තහනම නිසා ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියනුවන් කොරෝනා වයිරසය හේතුවෙන් මිය යා හැකි බවටද අනතුරු අඟවා තිබේ.

මෙම සංචාරක තහනම මේ වන විට බොහෝ පිරිස් වල විරෝධයට පාත්‍ර වී තිබේ.

මේ පිළිබඳව නිරතුරුවම උපදෙස් ලබාගන්නා බවත් එළඹෙන මැයි 07 වන දින පැවැත්වීමට නියමිත ජාතික කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බවත් අගමැති මොරිසන් පැවසුවේය.

ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂයට බහුතරය නොලැබුණොත් ඉල්ලා අස්වීමට සූදානම් බව ටස්මේනියා ප්‍රාන්ත අගමැති පවසයි

මෙවර ටස්මේනියානු ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂයට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් නොලැබුණොත් ඉල්ලා අස්වීමට සූදානම් බව ටස්මේනියාවේ ප්‍රාන්ත  අගමැති Peter Gutwein පවසා තිබේ.

Peter Gutwein ලිබරල් පක්ෂය නියෝජනය කරයි.

25 දෙනෙකුගෙන් යුත් ටස්මේනියානු පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍ය 13 වන ආසනය ලිබරල් පක්ෂය විසින් ලබා ගනු ඇතැයි Peter Gutwein විශ්වාස කරයි.

ටස්මේනියානු ප්‍රාන්ත මැතිවරණය පසුගිය සෙනසුරාදා පැවති අතර මේ වන විටත් එහි සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් වී නොමැත.

විදුලි මෝටර් රථ සඳහා වික්ටෝරියානු ප්‍රාන්තරජය නව බද්දක් යෝජනා කරයි

නව විදුලි මෝටර් රථ මිලදී ගන්නා පුද්ගලයින් සඳහා සහන දීමනාවක් ලබාදීමට ප්‍රකාශ කරන අතරේ එවැනි වාහන සඳහා නව බද්දක් හඳුන්වා දීමට උත්සාහ කිරීම පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්ත රජය විවේචනයට ලක්ව ඇත.

මෙම යෝජිත නව බද්ද අද දිනයේ වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවට ගෙන ඒමට නියමිතය.

එම යෝජනාවට අනුව විදුලි හා කාබන් විමෝචනය ශුන්‍යවූ අනෙකුත් වාහන පදවන රියදුරන් ජූලි 1 වනදා සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ගවල ගමන් කරන සෑම කිලෝමීටරයක් ​​සඳහාම ශත 2.5 ක් ගෙවිය යුතුය.

විදුලියට සම්බන්ධ කළ හැකි hybrid-electric වාහන සඳහා එම බද්ද කිලෝ මීටරයකට ශත 2 ක් වේ.

මෙම බද්ද හරහා වසර හතරක් තුළ ඩොලර් මිලියන 30 ක් රැස් කිරීමට අපේක්ෂා කරන අතර සාමාන්‍ය විදුලි වාහන හිමිකරුවෙකුට මේ සඳහා වාර්ෂිකව ඩොලර් 260 ත් 300 ත් අතර මුදලක් වැය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 13 ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 13 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 709 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඊට අමතරව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,913ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්න‍තේ පළමු මාත්‍රා තොගය ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

නවසීලන්තය Cook දූපත් සඳහා ද නිරෝධායනය රහිත ගුවන් ගමන් ආරම්භ කරයි

නවසීලන්තය මැයි 17 වන දා සිට Cook දූපත් සඳහා ද නිරෝධායන රහිත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරයි.

පැසිෆික් කලාපයේ රටවල් සමග නිරෝධායන රහිත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නවසීලන්තය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටී.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ද මේ වන විට නිරෝධායන රහිත ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.

මේ හේතුවෙන් දෙරටේ සිටින පවුල් වලට එක්වීමට අවස්ථාවක් ලැබෙන අතරේ ආර්ථිකයද වර්ධනය කරගැනීමට අවස්ථාවක් සැලසෙන බව නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පැවසුවාය.

බංගලාදේශ - ශ්‍රි ලංකා දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 209 ක විශිෂ්ට ජයක්

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 209 ක විශිෂ්ට ජයක් අත්විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රි ලංකා පිළ සතු විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 493 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා බංගලාදේශයට සිය පළමු ඉනිම සඳහා ආරාධනා කළේය.

ඒ අනුව බංගලාදේශය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 251 ක් ලබාගත්තේය.

දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව කඩුලු 9 කට ලකුණු 194 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා බංගලාදේශයට සිය දෙවැනි ඉනිම සඳහා ආරාධනා කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණයට බංගලාදේශයට ලකුණු 436 ක ඉලක්කයක් හිමිවිය.

නමුත් බංගලාදේශයට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 227 ක් පමණි.

සිය මංගල ටෙස්ට් තරඟයේදී ඉනිම දෙකෙහිම කඩුළු 11 ක් බිඳ හෙළු ප්‍රවීන් ජයවික්‍රම තරගයේ වීරයා බවට පත්විය.

සිය මංගල ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු සහ ලෝකයේම වමතින් දඟ පන්දු යවන්නෙකු විසින් සිදුකළ හොඳම පන්දු යැවීම ලෙසද මෙය වාර්තා වේ.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍ර විය.

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කළේය.

මේ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද දැනුම් දී ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 32 පසුවන තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20-20 තරඟ 84කට ක්‍රීඩා කර තිබේ.

එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම පන්දුවට පහර දීමේ වේගය සහිත පිතිකරුවන් ලැයිස්තුවේ තිසර පෙරේරා සිව්වන ස්ථානයේ පසුවෙයි.

ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 112.08 කි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නමුත් තමන් දේශීය හා විදේශීය ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කරන බවද ඔහු පවසා තිබේ.

Share
Published 4 May 2021 7:36pm
By Madhura Seneviratne

Share this with family and friends