වීසා සිහිනය යළි බොඳ කරමින් ඔස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකික දමිළ පවුල පර්ත් නුවර ප්‍රජා රැඳවුම් භාරයට (SBS සිංහල/ වාර්තා)

මෙම දමිළ පවුල ප්‍රජා රැඳවුම් මධ්‍යස්ථානයක් හරහා පර්ත් නුවර වාසය කරනු ඇති බවත් මෙම තීරණය ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා මාවතක් නිර්මාණය නොකරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke අද (15/06) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

From left: Nades Murugappan, Kopika, Priya,and Tharnicaa.

From left: Nades Murugappan, Kopika, Priya,and Tharnicaa. Source: Supplied

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරමින් බරපතල සටනක නිරතවන ශ්‍රී ලාංකික දමිළ පවුලේ සියලු සාමාජිකයින් යළි පර්ත් නුවරදී එකතුවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම පවුලේ බාල දියණිය වන සිව් හැවිරිදි Tharunicaa Murugappan බරපතල රුධිර ආසාදනයක් හේතුවෙන් පර්ත් ළමා රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.


Highlights

  • බාල දියණිය වන Tharunicaaගේ ප්‍රතිකාර අවසන් වනතෙක් මෙම දමිළ පවුලට ප්‍රජා රැඳවුම් මධ්‍යස්ථානයක් හරහා පර්ත් නුවර වාසය කිරීමට ඉඩ සැලසීමට කටයුතු කෙරේ.
  • නමුත් මෙමම තීරණය ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා මාවතක් නිර්මාණය නොකරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke සඳහන් කළේය.
  • Tharunicaa ගේ මෙම රෝගී තත්ත්වය නිසා ඇය සහ ඇගේ මව වන ප්‍රියා පසුගිය සතියේ Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිට පර්ත් රෝහල වෙත ගෙන ගිය අතර පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය මේ වන විට Christmas  දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටිති.

දමිළ පවුලේ සාමාජිකයින් පර්ත් නුවරට

මෙම දමිළ පවුල Christmas  දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබෙන අතර Tharunicaa ගේ මෙම රෝගී තත්ත්වය නිසා ඇය සහ ඇගේ මව වන ප්‍රියා පසුගිය සතියේ Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිට පර්ත් රෝහල වෙත ගෙන යන ලදී.

ඒ අනුව Tharunicaa ගේ පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය මේ වන විට Christmas  දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටී.

ඔවුන් දෙදෙනාවද බාල දියණිය සහ මව සමග එකට එක් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට විවිධ පාර්ශව වලින් දැඩි බලපෑම් එල්ල වන්නට විය.

ඒ අනුව ඔවුන්ගේ යළි එකතු කිරීම පිළිබඳ පැය 24 ක් තුළ තීරණයක් ගන්නා බවට ඊයේ පස්වරුවේ රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම දමිළ පවුල ප්‍රජා රැඳවුම් මධ්‍යස්ථානයක් හරහා පර්ත් නුවර වාසය කරනු ඇති බවත් මෙම තීරණය ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා මාවතක් නිර්මාණය නොකරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke අද (15/06) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු වීසා සඳහා මාවතක් නොවෙයි

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ Administrative Appeals Tribunal හෙවත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව, මධ්‍යම අධිකරණය සහ මහාධිකරණය ඉදිරියේ ඔවුන්ට දිගින් දිගටම නඩු පවරන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

එනිසා අද දිනයේ දුන් තීන්දුව කිසිසේත්ම ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා මාවතක් නිර්මාණය කරන එකක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

උසාවි නියෝග අනුව මෙම පවුලේ සාමාජිකයන් කලින් ප්‍රතික්ෂේප කර ඇති තාවකාලික ආරක්ෂාව සඳහා නැවත අයදුම් කිරීම වලක්වන තහනම ඉවත් කළ යුතුද යන්න ඉදිරි දිනයකදී සලකා බලන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


සරණාගත ශ්‍රී ලාංකික දමිළ පවුල

මෙම දමිළ පවුලේ පියා Nades Murugappan වන අතර මව Priya Murugappan වේ.

Nades Murugappan ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ වූ අයෙකු බවට SBS පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි.

ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලද පස් හැවිරිදි Kopika සහ තුන් හැවිරිදි Tharunicaa නමැති දියණියන් දෙදෙනෙකු වෙයි.

හදිසි නඩු විභාගයකින් මෙම දමිළ පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අවහිර කිරීමෙන් අනතුරුව මොවුන් 2019 අගෝස්තු මාසයේ සිට Christmas දූපතේ රඳවා ඇත.

ආරක්‍ෂක වීසා බලපත්‍රයක් සඳහා වන Tharunicaa ගේ අයදුම්පත සලකා බැලීමේදී සාධාරණත්වයක් ලබා නොදුන් බවට කලින් දුන් තීන්දුවක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී තහවුරු කළේය.

නමුත් ආරක්ෂක වීසා බලපත්‍රයක් සඳහා වන නිර්ණායකයන් මෙම පවුල විසින් සපුරා නොමැති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නැවත නැවතත් පවසා තිබේ.

මෙම දමිළ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් සහ ඔවුන්ගේ සහයකයින් සෑම උපක්‍රමයක්ම භාවිතා කළ බවට අමාත්‍ය Peter Dutton පසුගිය වසරේදී චෝදනා කර තිබුණි.

මීට පෙර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කළ Peter Dutton පසුගියදා සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් විය.

Share
Published 15 June 2021 9:58am
Updated 12 August 2022 3:05pm
By Jodie Stephens, Madhura Seneviratne


Share this with family and friends