ඔස්ට්‍රේලියාවේ ගැබිනි සහ කිරිදෙන මව්වරුන් සඳහා නිර්දේශ කර ඇත්තේ කුමන කොවිඩ් එන්නතද? (SBS සිංහල/ විමර්ශන)

ඔස්ට්‍රේලියාවේ ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා මේ වන විට ලබාදෙන්නේ Pfizer එන්නත බවත් ඒ සඳහා හේතු දෙකක් ඇති බවත් වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට ප්‍රකාශ කළාය.

A pregnant woman receiving coronavirus jab

A pregnant woman receiving the coronavirus jab. Source: Getty Images/bogdankosanovic

ඔස්ට්‍රේලියාවේ මේ වන විට Pfizer සහ AstraZeneca නමැති කොවිඩ් එන්නත් වර්ග ද්විත්වය ලබාදෙමින් පවතී.

මෙම එන්නත් වර්ග ද්විත්වය ලබා දිය යුත්තේ සහ නොදිය යුත්තේ කා හටද යන්න පිළිබඳ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිර්දේශ මේ වන විට නිකුත් කර තිබේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


එම පාර්ශව අතරින් කිරිදෙන සහ ගර්භනී මව්වරුන් පිළිබඳව විශේෂ අවධානයක් පවතියි.

එනිසාම කිරිදෙන සහ ගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාගැනීම කෙතරම් ආරක්ෂිතද සහ එහි වාසි - අවාසි පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ඩාර්වින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය සමග සිදුකළ සාකච්ඡාවෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා මේ වන විට ලබාදෙන්නේ Pfizer එන්නතය.
  • Pfizer වැනි mRna වර්ගයේ කොවිඩ් එන්නත ගර්භනී මව්වරුන්ට ඉතා සුදුසු බව සොයාගෙන ඇති බව වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය ප්‍රකාශ කළාය.
  • කොවිඩ් එන්නත ලබා නොගත් ගර්භනී මවකට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් සාමාන්‍ය අයෙකුට වඩා රෝහල් ගත කිරීමේ අවදානම පස් ගුණයකින් වැඩිය.

ඔස්ට්‍රේලියාවේ ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා නිර්දේශ කර ඇත්තේ කුමන COVID-19 එන්නත ද?

ඔස්ට්‍රේලියාවේ ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා මේ වන විට ලබාදෙන්නේ Pfizer එන්නත බවත් ඒ සඳහා හේතු දෙකක් ඇති බවත් වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට ප්‍රකාශ කළාය.

ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳව බොහොමයක් පර්යේෂණ මේ වන විට සිදුකර ඇත්තේ Pfizer එන්නත සම්බන්ධව වීම පළමු හේතුව වේ.

AstraZeneca එන්නත සඳහා තවම ඒ පිළිබඳව සැලකිය යුතු පර්යේෂණ සිදුකර නොමැති බවද වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැවසුවාය.
AstraZeneca එන්නත ලබාගත් වයස අවුරුදු 60 ට අඩු උදවියට කලාතුරකින් හටගන්නා රුධිරය කැටි ගැසීමේ අතුරු ආබාධයක් තිබෙන බව වාර්තා වේ.

AstraZeneca එන්නත ඔස්ට්‍රේලියාවේ ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා ලබානොදීමට එය දෙවැනි හේතුව බව ඇය සඳහන් කළාය.
March 26, 2013, Pregnancy stock  photo in Sydney, Tuesday. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING
A stock photo of a pregnant woman. Source: AAP

ගර්භනී සහ කිරිදෙන මව්වරුන් කොවිඩ් එන්නත ලබාගැනීම ආරක්ෂිතද?

Pfizer වැනි mRna වර්ගයේ කොවිඩ් එන්නත ගර්භනී මව්වරුන්ට ඉතා සුදුසු බව සොයාගෙන ඇති බව වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට ප්‍රකාශ කළාය.

"ඇමෙරිකාවේ ගර්භනී මව්වරුන් 35,000 ක් පමණ අරගෙන Pfizer එන්නත ලබා දීලා විශාල අධ්‍යනයක් සිදු කරලා තියෙනවා. ඒ අයට ලැබුණු දරුවන්ගෙන් කිසිම ප්‍රශ්නයක් ඒ අය සොයාගෙන නැහැ. එහිදී ඇතිවී ඇති ගැටළු සාමාන්‍ය දරු උපතකින් පසුව සිදුවන ගැටළුම බව ඔවුන් පවසනවා. ගර්භනී සමයේදීත් එන්නත ගත් පසුව විශාල අතුරු ආබාධ නොමැති බව සොයාගෙන තිබෙනවා." යනුවෙන් වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැහැදිලි කළාය.

මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍යනම් ලබාගත හැකි බවද ඇය සඳහන් කළාය.
මේ අතර කිරිදෙන මව්වරුන් සම්බන්ධ කරගෙන සිදුකර ඇති පර්යේෂණ ප්‍රමාණය සීමා සහිත බවද වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැවසුවාය.

නමුත් කුඩා ප්‍රමාණයේ පර්යේෂණ කිහිපයක් සිදුකර ඇති බවත් එන්නත ලබාගත් කිරි දෙන මව්වරුන් මුහුණ දෙන අතුරු ආබාධ සාමාන්‍ය පුද්ගලෙයකු මුහුණ දෙන අතුරු ආබාධ වලට සමාන බව ඒවායින් හෙළිවී ඇති බවත් ඇය පැවසුවාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


කොවිඩ් එන්නත ගත් පසුව ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ලැබෙන වාසි

කොවිඩ් එන්නත ගත් පසුව එයින් සෑදෙන ප්‍රතිදේහ ගර්භනී මවකගේ වැදෑමහ (placenta) හරහා දරුවාට ගමන් කරයි.

කොවිඩ් එන්නත ලබා නොගත් ගර්භනී මවකට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් සාමාන්‍ය අයෙකුට වඩා රෝහල් ගත කිරීමේ අවදානම පස් ගුණයකින් වැඩි බව වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට ප්‍රකාශ කළාය.

එමෙන්ම ගර්භනී මවකට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමේ අවදානම තුන් ගුණයකින් වැඩි බවද මේ වන විට සොයාගෙන තිබෙන බව වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැවසුවාය.
ඊට අමතරව ගර්භනී මවකට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් කෘතීම ශ්වසනය ලබා දීමේ අවදානමද තුන් ගුණයකින් වැඩි බව සඳහන්.

එමෙන්ම ගර්භනී මවකට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් නොමේරු දරුවන් ඉපදීමේ අවදානම 1.5 ක් පමණ ඇති බවත් මේ වන විට සොයාගෙන තිබේ.

එනිසා කොවිඩ් එන්නත ලබාගතහොත් මෙම ගැටළු අවම වන බව වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැවසුවාය.

කිරිදෙන මව්වරුන් කොවිඩ් එන්නත ලබාගතහොත් මව් කිරි හරහා දරුවට එන්නතේ ප්‍රතිදේහ ලැබෙන බවත් ඇය සඳහන් කළාය.
Overseas-based parents have been unable to provide support for family in Australia after childbirth due to the international border closure.
Source: Getty Images

කොවිඩ් එන්නත ගත් පසුව ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ඇතිවන අතුරු ඵල

කොවිඩ් එන්නත ගත් පසුව ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට පහත සඳහන් ආකාරයේ අතුරු ඵල ඇතිවන අයුරු ඇමෙරිකානු පර්යේෂණයෙන් සොයාගෙන ඇති බව වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය ප්‍රකාශ කළාය.

  • එන්නත විදින ලද ස්ථානයේ වේදනාව
  • මද උණ ගතිය
  • මද තෙහෙට්ටු ගතිය
උණ ගතිය ඇතිවූ විට ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට පැරසිටමෝල් ගැනීමට හැකි බවද ඇය සඳහන් කළාය.

Share
Published 17 August 2021 1:07am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends