ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සාව බරපතල වෙයි, එයින් ආරක්ෂාවීමට උපදෙස් මෙන්න (SBS සිංහල/ වාර්තා)

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මේ වසරේ ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 38,000කට වඩා වාර්තා වී ඇත.

Due to the soaring number of flu cases in Australia, five states – Queensland, NSW, Victoria, South Australia and Western Australia – have made the flu jabs free for everyone.

เนื่องจากจำนวนผู้ป่วยไข้หวัดใหญ่พุ่งสูงขึ้นในออสเตรเลีย ห้ารัฐ ได้แก่ ควีนส์แลนด์ นิวเซาท์เวลส์ วิกตอเรีย เซาท์ออสเตรเลีย และเวสเทิร์นออสเตรเลีย ให้วัคซีนฟรี Source: Getty Images

වසර දෙකක පමණ විරාමයකින් පසු ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා සමය බරපතල ආකාරයකින් නැවත පැමිණ තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරී Sandro Demaio පවසන පරිදි පසුගිය වසර හා සසඳන විට මෙම වසර මුලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වැඩිපුර වාර්තා වන අතර වැඩි පිරිසකට එය බෝවෙයි.

එමෙන්ම වැඩි සංඛ්‍යාවක් දරුණු රෝග ලක්ෂණ ද අත්විඳිති.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය සමග රෝහල්ගත වන ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.


Highlights

  • රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවෙන්සාව වැළඳීමෙන් දින 1-3 කට පසුව ආරම්භ වන අතර සතියක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකිය.
  • ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 රෝග ලක්ෂණ අතර වෙනස පැවසීම තරමක් අපහසු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Moy පැවසීය.
  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, flu එන්නත ලබා ගැනීම ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එරෙහිව ගත හැකි හොඳම ආරක්ෂාව වේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මේ වසරේ ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 38,000කට වඩා වාර්තා වී ඇත.

එයින් 70% ක් පමණ එනම් 26,000 කට වඩා වාර්තා වී ඇත්තේ මැයි 9 සිට 22 දක්වා සති දෙකක කාලයක් තුළය.

වාර්තා වී ඇති රසායනාගාරයෙන් තහවුරු කරන ලද ඉන්ෆ්ලුවෙන්සා ආසාදනවලින් 99% ක්ම ඉන්ෆ්ලුවෙන්සා A වන අතර එය මෙම වාරයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසයේ ප්‍රමුඛ වර්ගය බවට පත් වී ඇති බව පෙන්වයි.
Flu cases are on the rise all over Australia
Source: SBS News

මේ වසරේ ඉන්ෆ්ලුවෙන්සා සමය මෙතරම් දරුණු වන්නේ ඇයි?

කොවිඩ් පැමිණීම නිසා වසර තුනකට පසු ඔස්ට්‍රේලියානුවන් එයට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය වන බැවින් මෙම වසරේ ඉන්ෆ්ලුවෙන්සා සමය වඩාත් දරුණු වූ බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති Chris Moy පැවසීය.

"පසුගිය වසර දෙක තුළ, සියලු lockdown කිරීම් සහ කොවිඩ් නීති හා සීමා කිරීම් හේතුවෙන් අපට ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් තිබුණේ නැහැ. ඒ නිසා, ප්‍රජාව තුළ කිසිදු ප්‍රතිශක්තියක් තිබුණේ නැහැ," යනුවෙන් වෛද්‍ය Chris Moy, SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මොනවාද?

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව නාසයෙන් දියර ගැලීම හෝ කිවිසුම් යාම, කැස්ස හෝ උගුරේ අමාරුව, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, ශරීරයේ වේදනාව, වමනය සහ පාචනය (ළමයින් තුළ බහුලව දක්නට ලැබේ) ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වේ.

රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවෙන්සාව වැළඳීමෙන් දින 1-3 කට පසුව ආරම්භ වන අතර සතියක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකිය.

ඇතැම් පුද්ගලයින් මෙයින් මද ලෙස පීඩාවට පත් විය හැකි අතර අනෙක් පුද්ගලයින් බරපතල ලෙස රෝගාතුර විය හැකිය.

"ඔබට තරමක් අසනීප විය හැකි අතර සති කිහිපයක් පුරාවට පවා රෝග ලක්ෂණ ඇති විය හැකියි. විශේෂයෙන්, ආසාදනයෙන් සති දෙක තුනක් පුරාවට කැස්ස, උදාසීනත්වය සහ තෙහෙට්ටුව වාර්තා වී තිබෙනවා." යනුවෙන් වෛද්‍ය Chris Moy, SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.

COVID-19 රෝග ලක්ෂණ වලට ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කෙතරම් සමානද?

ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 රෝග ලක්ෂණ අතර වෙනස පැවසීම තරමක් අපහසු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Moy පැවසීය.

COVID-19 හි එක් රෝග ලක්ෂණයක් වන්නේ ගඳ සුවඳ නැතිවීම විය හැකි අතර එය අවහිර වූ නාසයකින් හෝ දියර ගලන නාසයකින් වෙන්ව පවතින බවත් ඔහු පැවසීය.

"එසේ නැතිනම් ඇත්තටම වෙනස පැවසීම තරමක් අපහසුයි. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට ඔවුන්ගේ රෝග ලක්ෂණ මත පදනම්ව වෙනස පැවසිය හැකි යැයි මම හිතන්නේ නැහැ." යනුවෙන්ද වෛද්‍ය Chris Moy වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔබට ඇති ආසාදනය ගැන දැන ගැනීමට ඇති හොඳම මාර්ගය කුමක්ද?

ඔබට වැළදී ඇති වයිරසය ඉන්ෆ්ලුවෙන්සා එකක් හෝ වෙනත් එකක් යැයි උපකල්පනය නොකිරීම සැමවිටම වැදගත් බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය Sandro Demaio පැවසීය.

COVID-19 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවීම ඒ සඳහා වඩාත් සුදුසු බව ඔහු යෝජනා කළේය.

නමුත් ඔබට ඉන්ෆ්ලුවෙන්සා හෝ COVID-19 වැළඳී තිබුණත්, ආසාදනය පැතිරීම සීමා කිරීම පිළිබඳ පවතින සෞඛ්‍ය උපදෙස් සමාන බව වෛද්‍ය Sandro Demaio පැවසීය.

"ඔබ කිවිසුම් යන විට ඔබේ මුඛය වසා ගන්න, ඔබ සෑම විටම මුව ආවරණයක් පැළඳ සිටීමට වග බලා ගන්න, වඩාත්ම වැදගත් දෙය නම්, ඔබට රෝග ලක්ෂණ ඇත්නම්, හුදකලා වී අන් අය සමඟ ඔබේ භෞතික සම්බන්ධතා අවම කර ගන්න," යනුවෙන් ද ඔහු පැවසීය.
Dr Chris Moy, Vice President of the Australian Medical Association.
Dr Chris Moy, Vice President of the Australian Medical Association. Source: Twitter / AMA

ඉන්ෆ්ලුවෙන්සා හෙවත් flu එන්නත මෙය වළක්වා ගැනීමට සහය වෙයිද?

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, flu එන්නත ලබා ගැනීම ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එරෙහිව ගත හැකි හොඳම ආරක්ෂාව වේ.

වයස මාස හයක් සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා වාර්ෂික flu එන්නත නිර්දේශ කෙරේ.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සහ ටොරස් සමුද්‍ර දූපත් වැසියන්, වයස අවුරුදු 6 සිට අවුරුදු පහ දක්වා ළමුන්, ගර්භනී කාන්තාවන්, අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයින් සහ බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව අදහස් කරන රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වාර්ෂික නොමිලයේ එන්නත් සඳහා සුදුසුකම් ලබයි.

මෙවර ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්තවල සෑම වැසියෙකුටම flu එන්නත නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

ඔබ flu එන්නත ලබා ගත යුත්තේ කවදාද?

ඔස්ට්‍රේලියානුවාසීන් හැකි ඉක්මනින් ඔවුන්ගේ flu එන්නත් ලබා ගත යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය Sandro Demaio පැවසීය.

flu එන්නත සම්පූර්ණයෙන්ම ඵලදායී වීමට සති දෙකක් පමණ ගත වන බවද ඔහු සඳහන් කළේය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සෑම වසරකම සරත් සෘතුවේ (autumn) මැද භාගයේදී flu එන්නත ලබා ගැනීම ගැන සලකා බැලිය යුතු බව ද වෛද්‍ය Demaio පැවසීය.

මෙම flu එන්නත මාස තුන හතරක කාලයකට උපරිම ඵලදායිතාව ලබා දෙන බව සැලකෙන අතර එම පුද්ගලයින්ට මෙම වරායෙන් පසුව දෙවන flu එන්නතක් ලබා ගැනීමේ සම්භාවිතාව පිළිබඳව ඔවුන්ගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය විය හැකි බව ද වෛද්‍ය Demaio පැහැදිලි කළේය.

flu එන්නතක් ලබාගත් පමණින් ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය වීම වලක්වා නොගත හැකි නමුත්, එය දරුණු ආසාදනය වීමක් ඇති නොකිරීමට හා රෝග ලක්ෂණ අඩු කිරීමට බොහෝ දුරට ඉවහල් වන බවත් ඔහු සඳහන් කළේය.

 

එක් සෘතුවකදී දෙවරක් ඉන්ෆ්ලුවෙන්සාව වැළඳිය හැකිද?

එක් සෘතුවකදී දෙවරක් ඉන්ෆ්ලුවෙන්සාව වැළඳිය හැකි බව වෛද්‍ය Sandro Demaio පැවසීය.

විවිධ ඉන්ෆ්ලුවෙන්සා වර්ග තිබීම සහ වයිරස්වල විවිධ ප්‍රභේද හා විකෘති තිබීම ඊට හේතුව වේ.

ඔබට එකම ප්‍රභේද දෙවරක් ආසාදනය විය හැකි නමුත් පළමු ආසාදනයෙන් පසුව ප්‍රතිශක්තිය ගොඩ නැගී ඇති නිසා දෙවන ආසාදනය පළමු ආසාදනය තරම් දරුණු නොවනු ඇති බව වෛද්‍ය Demaio පැවසීය.

ඔබට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී තිබුණත් ඔබ Flu එන්නත ලබා ගත යුතුද?

"ඇත්තෙන්ම ඔව්, වයිරසය අඛණ්ඩව විකාශනය වෙමින් පවතින අතර විශේෂයෙන් මෙම වසරේ එය ඉතා දරුණු ඉන්ෆ්ලුවෙන්සා සමයක් බව පෙනී යනවා." යනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය Sandro Demaio පැවසීය.

එබැවින් ඔබට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී තිබුණත් ඔබේ ඔසුසල හෝ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් ඉතිරි කාලය පුරාවට හැකිතාක් දුරට ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා Flu එන්නත් ලබා ගැනීමට තමන් නිර්දේශ කරන බවද ඔහු අවධාරණය කළේය.

"ඔබේ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන් පහව යන තෙක් ඔබ බලා සිටිය යුතු අතර ඔබ Flu එන්නත ලබා ගැනීමට පෙර ඔබ හොඳින් සිටිය යුතුයි" යනුවෙන්ද වෛද්‍ය Sandro Demaio පැවසීය.

මාස හයකට අඩු දරුවන්

මාස හයකට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින බැවින් flu එන්නත ඔවුන් සඳහා නිර්දේශ නොකරන බව වෛද්‍ය Demaio පැවසීය.

එවැනි තත්වයක් තුළ පවුල්වලට කළ හැකි හොඳම දෙය නම් නිවසේ සිටින අනෙක් සියල්ලන්ටම flu එන්නත් ලබා දීම බවද ඔහු පැවසීය.

"එය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය අඩු කරන අතර, ඔබට වයිරසය ආසාදනය වේ නම්, එය බරපතලකම අඩු කරනවා. ඔබේ රෝග ලක්ෂණ අඩු නම්, ඔබෙන් වයිරසය සැලකිය යුතු ප්‍රමාණයක් සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩකඩ අඩු බවත්, එබැවින් එය කුඩා දරුවන්ට සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩකඩ අඩු බවත් අපි දන්නවා." යනුවෙන් වෛද්‍ය Sandro Demaio පැහැදිලි කළේය.

කුඩා දරුවන්ට උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම උපකාර පැතීම වඩාත් සුදුසු බව ද වෛද්‍ය Demaio පැවසීය.

"ඔබේ නිවසේ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති කුඩා දරුවෙකු සිටී නම්, COVID-19 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. නැතිනම් NURSE-ON-CALL [healthdirect] අමතන්න. එසේත් නැතිනම් ඔබේ පවුලේ වෛද්‍යවරයා අමතා ඔබේ දරුවාට වෛද්‍ය උපදෙස් ලබා ගන්න" යනුවෙන් ද වෛද්‍ය Sandro Demaio වැඩි දුරටත් පැවසීය.



Share
Published 2 June 2022 1:01pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends