ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය 2022: මීළඟ අගමැති වීමට තරග වදින මොරිසන්ගේ සහ ඇල්බනීසිගේ පැටිකිරි මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතැම් දේවල් වලින් සමාන වුවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති කැපී පෙනෙන ලෙස වෙනස්ය.

Anthony Albanese and Scott Morrison

Anthony Albanese and Scott Morrison Source: SBS

එළඹෙන මැයි 21 වැනිදා ඔස්ට්‍රේලියානුවන් ඉදිරි වසර තුන තුළ ඔස්ට්‍රේලියාව පාලනය කළ යුතු වන්නේ වත්මන් අගමැති Scott Morrison ද නැතිනම් වත්මන් විපක්ෂ නායක Anthony Albanese ද යන්න තීරණය කරනු ඇත.

යම් යම් අවස්ථාවලදී Morrison සහ Albanese සමානකම් දරයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔවුන් දෙදෙනාම 1970 ගණන්වල සිඩ්නි කලාපයේ  ළමා කාලය ගත කළ මේ වන විට පනස් වියෙහි පසුවන සුදු ජාතික ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාම ක්‍රිස්තියානි පසුබිමක් සහිතව හැදී වැඩුණු අය වන අතර ඔවුන් දෙදෙනාටම ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධි ඇත.

එමෙන්ම ඔවුන් දෙදෙනාම දැඩි NRL රසිකයන් වේ.

නමුත් ඔවුන්ගේ ඔවුන්ගේ ප්‍රතිපත්ති කැපී පෙනෙන ලෙස වෙනස්ය.

ඉදිරි වසර 3 සඳහා ඔස්ට්‍රේලියාවට නායකත්වය දීමට තරඟ කරන මෙම පුද්ගලයින් දෙදෙනා ගැන ඉහත කී කරුණු හැර  ඔබ ඇත්තටම දන්නේ කුමක්ද?
Scott Morrison versus Anthony Albanese
Scott Morrison versus Anthony Albanese Source: SBS

Scott Morrison

Scott Morrison දකුණු සිඩ්නි කලාපයේ Cook මැතිවරණ ආසනය නියෝජනය කළ හැකි නමුත් ඔහුගේ මූලයන් බොහෝ දුරට නගරයේ ධනවත් නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල පවතී.

ඔහු හැදී වැඩුණේ Bronte වෙරළබඩ උපනගරයේ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් ප්‍රෙස්බිටේරියන් ප්‍රොතෙස්තන්ත පවුලකය.

ඔහුගේ පියා John දේශපාලනයේ දැඩි ලෙස මුල්බැසගෙන සිටියේය.

මොරිසන්ගේ පියා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා පොලිස් නිලධාරියෙකු ලෙසත් ස්වාධීන දේශපාලනඥයෙකු ලෙසත් ප්‍රාදේශීය සභාවේ වසර 16 ක් සේවය කළ අතර, Waverleyනගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.

කුඩා කාලයේ සිටම මොරිසන්ට ඔහු විසින් ඡන්දයේ වටිනාකම පෙන්වා දෙන ලදී.
කුඩා මොරිසන් Sydney Boys High School වෙත පාසල් අධ්‍යාපනය ලැබීමට ගිය අතර පසුව නිව් සවුත් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

ඔහු එහිදී ආර්ථිකය මෙන්ම භූගෝල විද්‍යාව ද හැදෑරු අතර නිබන්ධනය සඳහා සිඩ්නි නුවර ක්‍රිස්තියානි සහෝදර රැස්වීම්වල ජනවිකාශය විශ්ලේෂණය කළේය.

මොරිසන් මුළු ජීවිත කාලය පුරාම පල්ලියට දැඩි ලෙස සම්බන්ධ වී සිටින අතර ඔහුට වයස අවුරුදු 16 දී ඔහුගේ බිරිඳ Jenny Warren මුණගැසුණේ ද එහිදීය.

මොරිසන් සහ ජෙනී 1990 දී විවාහ වූයේ මොරිසන්ට වයස අවුරුදු 21 දී වන අතර මේ වන විට ඔවුන්ට දියණියන් දෙදෙනෙකු සිටියි.

එම දියණියන් දෙදෙනාම පාසල් වියෙහි පසුවෙති.
Scott Morrison
Scott Morrison Source: AAP / Richard Wainwright

මොරිසන්ගේ දේශපාලන ගමන

මොරිසන්ගේ වෘත්තිය ආරම්භ වූයේ ඔස්ට්‍රේලියාවේ දේපල කවුන්සිලය ඇතුළු වෘත්තීය සංවිධානවලිනි.

නමුත් 2004 වසරේ Tourism Australia හි කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත් වූ ඔහු තම සලකුණ තැබුවේ සංචාරක කර්මාන්තයේ ය.

ඔහු මැදිහත්වූ "Where the bloody hell are you?" නම්වූ සංචාරක දැන්වීම් ව්‍යාපාරය එවකට දැඩි ලෙස ජනප්‍රිය එකක් විය.

එම රැකියාවෙන් පසුව නිව් සවුත් වේල්ස් ලිබරල් පක්ෂයේ ප්‍රාන්ත අධ්‍යක්ෂවරයා ලෙස මොරිසන් කටයුතු කළ අතර පසුව ඔහු නැවත දේශපාලනයට පැමිණ 2007 ෆෙඩරල් මැතිවරණයෙන් Cook ආසනය ලිබරල් පක්ෂය වෙනුවෙන් දිනා ගත්තේය.

භාණ්ඩාගාරික, සමාජ සේවා සහ ආගමන හා දේශසීමා ආරක්ෂණ  ඇතුළු පාර්ලිමේන්තු අමාත්‍යධුර රැසක් මොරිසන් විසින් දරා ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව තුළ ඔහු සිදුකළ මංගල කතාවේදී ඔහු මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස හැඳින්වුණු නමුත් ඔහු එතැන් සිට දක්ෂිණාංශික ලෙස ගමන් කර ඇති අතර මේ වන විට ලිබරල් පක්ෂයේ මධ්‍ය-දක්ෂිණාංශික කන්ඩායමට නායකත්වය දෙයි.
වසර 2013 දී ඔහු ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන "බෝට්ටු නැවැත්වීමට" මිලිටරි නායකත්වයෙන් යුත් ස්වෛරී දේශසීමා මෙහෙයුම දියත් කර ඊට නායකත්වය දුන්නේය.

පෙන්තකොස්ත කිතුනුවකු සහ සමාජ ගතානුගතිකයෙකු වන මොරිසන් සමලිංගික විවාහවලට ප්‍රමුඛ විරුද්ධවාදියෙකි.

2017 දෙසැම්බරයේ දී සමලිංගික විවාහ අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මොරිසන් ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

අගමැති මොරිසන් සෑම විටම ඔස්ට්‍රේලියාවේ ෆොසිල ඉන්ධන කර්මාන්තයට සහයෝගය ලබා දී ඇති අතර 2017 වසරේ පහළ මන්ත්‍රණ සභාවේදී ගල් අඟුරු කැබැල්ලක් අතැතිව "බිය නොවන්න" යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් 2021 රාජ්‍ය නායකයින්ගේ දේශගුණික සමුළුවේදී අනෙකුත් ලෝක නායකයින් මෙන් නොව ශුද්ධ-ශුන්‍ය කාබන් විමෝචනය හෝ වෙනත් දේශගුණික විපර්යාස ඉලක්ක තැබීම මොරිසන් ප්‍රතික්ෂේප කළේය.

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවිය හැක්කේ වෙළෙඳපොළ බලවේගවලට මිස රජයේ රෙගුලාසිවලට නොවන බව තමා විශ්වාස කරන බව මොරිසන් පවසා තිබේ.

ලිබරල් පක්ෂයේ නායකත්ව අර්බුදයකින් පසුව ඔහු 2018 අගෝස්තු 24 දින ඔස්ට්‍රේලියාවේ 30 වැනි අගමැති ලෙස දිවුරුම් දුන්නේය.

පසුව ඔහු එවකට සිටි කම්කරු පක්ෂ නායක Bill Shorten පරාජය කිරීමෙන් පසු 2019 දී අගමැතිවරයා ලෙස ඡන්දයෙන් යළි තේරී පත්විය.

අගමැති මොරිසන් NRL තරගාවලියේ Cronulla Sharks රග්බි ලීග් කණ්ඩායමේ උද්යෝගිමත් ආධාරකරුවෙකි.
News
Leader of the Opposition, Anthony Albanese (L) and Prime Minister of Australia, Scott Morrison (R) in the House of Representatives chamber at Parliament House. Source: Getty

Anthony Albanese

තම මව සමග Anthony Albanese හැදී වැඩුණේ සිඩ්නි කලාපයේ අභ්‍යන්තර-බටහිර ප්‍රදේශයේ නගර සභා නිවාසයකය.

ඔහුගේ එවක ජීවිතය පහසු නොවූ අතර මුදල් දුෂ්කරතාඑමට තිබුණි.

එම කටුක අත්දැකීම සහ තම පුතාගේ ජීවිතය තමාගේ ජීවිතයට වඩා යහපත් වනු ඇතැයි ඔහුගේ මවගේ අධිෂ්ඨානය, සමාජ සාධාරණත්වයේ වටිනාකම් සහ සාධාරණය ඔහුට ඉගැන්වූ බව Anthony Albanese පවසයි.

ආතරයිටිස් රෝගයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මව ආබාධිත විශ්‍රාම වැටුපක් මත ඇගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළ අතර, එම සිදුවීම Albanese ට සුබසාධන ආධාරවල වටිනාකම ගැන දැඩි උනන්දුවක් ඇති කළේය.

"මම ඩොලරයක වටිනාකම ඉගෙන ගත්තා, ප්‍රශ්නවලට ඔරොත්තු දීමේ වැදගත්කම මම ඉගෙන ගත්තා. නමුත් ජන ජීවිතයට වෙනසක් කිරීමට ප්‍රජාවේ ශක්තිය සහ රජයේ බලය ගැනත් මම ඉගෙන ගත්තා," ඔහු සිය මැතිවරණ ප්‍රචාරක දියත් කිරීමේ කතාව අතරතුර පැවසීය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොව පාසල් අධ්‍යාපනයද අවසන් කළ සිය පවුලේ පළමු පුද්ගලයා බවට Anthony Albanese පත්විය.

ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට පෙර සිඩ්නි නුවර CBD හි කතෝලික පිරිමි පාසලක් වන St Mary's Cathedral විද්‍යාලයට ඇතුළත් විය.

පසුව ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධියක් ලබා ගත්තේය.

ඔහුගේ විශ්ව විද්‍යාල කාලය තුළ ඔහු විවිධ රැකියා කිරීමට සහ ශිෂ්‍ය නියෝජිත කවුන්සිලයේ සිටීමට කාලය සොයා ගත්තේය.

ඔහු කම්කරු පක්‍ෂයට බැඳුණේද ශිෂ්‍යයකුව සිටියදීය.

Albanese ට ඔහුගේ බිරිඳ Carmel Tebbut ව 1980 ගණන්වලදී කම්කරු පක්ෂයේ තරුණ රැස්වීමකදී මුණගැසුණු අතර 2019 දී වෙන්වීමට පෙර මෙම යුවළට පුතෙකු ලැබුණි.
Opposition Leader Anthony Albanese speaks to the media during a press conference on day three of the 2022 federal election campaign, in Melbourne.
Opposition Leader Anthony Albanese speaks to the media. Source: AAP / LUKAS

Albanese ගේ දේශපාලන ගමන

Albanese හැදී වැදුණු එම සිඩ්නි කලාපයේ අභ්‍යන්තර-බටහිර ප්‍රදේශය ඔහු වසර 30 ක් මුළුල්ලේ නියෝජනය කරයි.

ඔහු 1996 සිට Grayndler ආසනය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ කටයුතු කරයි.

2001 වසරේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ ඔහු යටිතල පහසුකම් අමාත්‍ය, පරිසර ඡායා අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති ඇතුළු විවිධ අමාත්‍ය ධූර දරා ඇත.

ඔහු සැමවිටම තම පක්ෂයේ වාමංශික පාර්ශවයේ සිටින අතර "ප්‍රගතිශීලී" ලෙස ඔහුගේ අදහස් විස්තර කරයි.

LGBTIQ+ අයිතිවාසිකම් ගැන දැඩි ඇල්මක් දක්වන Albanese සමලිංගික යුවළ සඳහා විෂමලිංගික යුවළවලට ලබා දෙන සුපිරි විශ්‍රාම ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට පනතක් ඉදිරිපත් කළ අතර එය අවසානයේ 2007 දී කෙවින් රඩ් ගේ කම්කරු පක්ෂ රජය යටතේ සම්මත විය.

පසුව ඔහු සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීම සඳහා උද්ඝෝෂණය කිරීමට අවධානය යොමු කළ අතර 2017 දී එම යෝජනාවට සහාය පළ කළේය.

ඔහු තමන් කතෝලික නොවන කතෝලිකයෙකු ලෙස විස්තර කර ඇති අතර ගබ්සාවට සහ euthanasia හෙවත් අනායාස මරණය සඳහා පක්ෂ වේ.
ඔහු ජනරජවාදියෙකු ද වන අතර ඔස්ට්‍රේලියාවට නීති විරෝධී යාත්‍රා මගින් පැමිණෙන සරණාගතයින් ප්‍රතික්ෂේප කිරීමේ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව සිය විරෝධය පළ කර තිබේ.

ඔහු දේශගුණික විපර්යාස කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි.

2006 දී පරිසරය සඳහා කම්කරු පක්ෂයේ ඡායා අමාත්‍යවරයා බවට පත්වීමෙන් පසු ඔහු කම්කරු දේශගුණික විපර්යාස සැලැස්ම සකස් කළේය.

අද, ඔහු වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනයට සහාය දෙන අතර 2030 වන විට කාබන් විමෝචනය 43% කින් අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තියේ ආර්ථික විභවය උපයෝගී කර ගැනීමට අවශ්‍ය බව පවසා ඇත.

2008 වසරේ එවකට අගමැතිව සිටි කෙවින් රඩ් Stolen Generations සඳහා ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගෙන් ජාතික සමාව අයැදීම සිදු කළ අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමාගේ අභිමානවත් දිනය බව ඔහු පවසා තිබේ.

2019 ෆෙඩරල් මැතිවරණයේදී කම්කරු පක්ෂය පරාජය වීමෙන් පසුව එවකට කම්කරු පක්ෂ නායකයා වී Shorten ඉල්ලා අස්විය.

ඉන් පසුව කම්කරු පක්ෂයේ නායකයා සහ විපක්ෂ නායක වීමට නායකත්ව මැතිවරණයකදී නම් කරන ලද එකම තැනැත්තා Albanese පමණි.

Albanese, NRL ක්‍රීඩාවේ South Sydney Rabbitohs රග්බි ලීග් කණ්ඩායමේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකි.



Share
Published 18 April 2022 4:10pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends