සුදු ජාතිකයින් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ව බලෙන් සිරකර තැබූ අමානුෂික "Lock Hospitals" පිළිබඳ SBS සිංහල ගුවන් විදුලියේ හෙළිදරව්ව

මෙම ඛේදනීය සිද්ධීන් ස්මරණය කිරීම කෙතරම් වේදනාත්මක ද කිවහොත් ඇබෝර්ජීනියානු ජනයාට "Lock Hospitals" තිබූ Bernier සහ Dorre දූපත් දෙස පවා බැලීමට අපහසුතාවක් පවතී.

SBS Sinhala Radio reveals about the cruel "Lock Hospitals" created by white people to forcibly imprison Indegenious Australians

Source: SBS Sinhala/ Janaka Weerasinghe

2021 ජූලි 04 සිට ජූලි 11 දක්වාවූ සතිය ඔස්ට්‍රේලියානු දින දර්ශනයේ NAIDOC සතිය ලෙස හැඳින්වේ.

NAIDOC යනු National Aboriginal and Islanders Day Observance Committee යන්නෙහි කෙටි යෙදුමය.

ඇබෝර්ජීනියානු වැසියන් සහ ටෝරස් දූපත් වැසියන් ඇතුළු ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයාගේ ඉතිහාසය, සංස්කෘතිය, උරුමය සහ ජයග්‍රහණ හඳුනාගනිමින් ඒවා සිහිපත් කිරීම මෙම සතිය තුළ සිදුකෙරේ.

මෙම NAIDOC සතියේදී SBS සිංහල ගුවන් විදුලිය ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යාමට මෙම ලිපියෙන් සූදානම්.


Highlights

  • Carnarvon නගරයේ One Mile ජැටිය ඔස්සේ ඉන්දීය සාගරය දෙස බැලූ කල Bernier සහ Dorre නමින් සිහින් දිගු දූපත් දෙකක් පෙනේ.
  • වසර 1908 සහ 1919 අතර කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ වල වාසය කළ ඇබෝර්ජීනියානු ජාතිකයන් 800 ක පමණ පිරිසක් ඔවුන් ජීවත්වූ ප්‍රදේශ වලින් ඉවත් කර මෙම දූපත් වෙත ගෙන ආ බව වාර්තා වේ.
  • සමාජ රෝග ඇති බවට පවසමින් මෙම දූපත් වෙත ගෙනා ඇබෝර්ජීනියානු පිරිස ඉඩ පහසුකම් නැති මඩුවල රැඳවු බවත් ඒවා "Lock Hospitals" හෙවත් "අගුලු දැමූ රෝහල්" ලෙස හැඳින්වුණු බවත් සඳහන්.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් අසාධාරණ ලෙස සඟවා තැබූ දූපත්

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Carnarvon ප්‍රදේශයේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් අසාධාරණ ලෙස සඟවා තැබූ දූපත් දෙකක අතීත විස්තර සෙවීමට මෙම චාරිකාවේදී SBS සිංහල ගුවන් විදුලිය අපේක්ෂා කරයි.

SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ මේ සඳහා දායකවනු ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Carnarvon වෙරළබඩ නගරය

Carnarvon යනු බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නගරයට කිලෝමීටර් 900 ක් පමණ උතුරින් පිහිටි වෙරළබඩ නගරයකි.

එය පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරය හා සම්බන්ධ Gascoyne ගංගාව අසබඩ ය.

Carnarvon නගරයට බොහොම ආසන්නව ජැටියක් පිහිටා ඇති අතර එය One Mile Jetty නමින් හැඳින්වෙන බව ජනක SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

එම ජැටිය කිලෝ මීටර් 1.6 ක් නැතිනම් සැතපුමක් දිග බැවින් එම නම මේ සඳහා යොදන්නට ඇති බව සිතිය හැකිය.
පර්ත් නගරයට බොහෝ දුරින් පිහිටි Carnarvon නගරයට භාණ්ඩ ගෙන ඒමට සහ නගරයෙන් භාණ්ඩ නැව් වලට පැටවීමට මෙම ජැටිය ශත වර්ෂයකට පෙර සිටම විශාල සේවයක් කර ඇති බව ජනක පැවසුවේය.

වසර 1897 දී ඉදිකළ මෙම ජැටිය ඔස්ට්‍රේලියාවේ දිගින් වැඩිම ජැටි වලින් එකකි.

මෙම ජැටිය අසල ඇති පුවරුවකින් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් අසාධාරණ ලෙස සඟවා තැබූ දූපත පිළිබඳ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහට දැනගන්නට ලැබුණි.
Carnarvon
Source: SBS Sinhala/ Janaka Weerasinghe

"Lock Hospitals" හෙවත් "අගුලු දැමූ රෝහල්"

Carnarvon නගරයේ One Mile ජැටිය ඔස්සේ ඉන්දීය සාගරය දෙස බැලූ කල Bernier සහ Dorre නමින් සිහින් දිගු දූපත් දෙකක් පෙනෙන බව ජනක පැවසීය.

වසර 1908 සහ 1919 අතර කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ වල වාසය කළ ඇබෝර්ජීනියානු ජාතිකයන් 800 ක පමණ පිරිසක් ඔවුන් ජීවත්වූ ප්‍රදේශ වලින් ඉවත් කර මෙම දූපත් වෙත ගෙන ආ බව වාර්තා වේ.

එම පිරිසට ඇබෝර්ජීනියානු කාන්තාවන්, පිරිමින් පමණක් නොව කුඩා දරුවන් පවා ඇතුළත් වුණු අතර ඔවුන් සිය වාසස්ථාන වලින් ඉවත් කළේ සමාජ රෝග ඇති බවට කියමිනි.
එම ඇබෝර්ජීනියානු පිරිසට සමාජ රෝග තිබේද යන්න පරීක්ෂා කරනු ලැබුවේ පොලිස් නිලධාරියෙකු විසිනි.

සමාජ රෝග ඇති බවට සැකයක් මතු වුවහොත් ඔවුන්ව වහාම දම් වැල් වලින් පවා ගැටගසා මෙම දූපත් වෙත ගෙනා බව සඳහන්.

එලෙස අල්ලාගෙන පැමිණි ඇතැම් ඇබෝර්ජීනියානු ජනයාට තමන්ගේ ආදරණීයන්ගෙන් සමුගැනීමට පවා නොලැබුණි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

සමාජ රෝග ඇති බවට පවසමින් Bernier සහ Dorre දූපත් වෙත ගෙනා ඇබෝර්ජීනියානු පිරිස ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නැති මඩුවල රැඳවු බව SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ අපට වාර්තා කළේය.

එම මඩු "Lock Hospitals" හෙවත් "අගුලු දැමූ රෝහල්" ලෙස හැඳින්විණි.

නමුත් ඒවා වඩාත් සමාන වූයේ සිර කඳවුරු වලට බව ජනක පැවසීය.
මේවායේ රඳවා තිබූ ඇබෝර්ජීනියානු පිරිසෙන් 40% ක් පමණ නැවතත් තමන්ගේ ගම් බිම් බලා නොපැමිණි බවද වාර්තා වේ.

ඒ දූපත් වල තිබූ අයහපත් තත්ත්වය හේතුවෙන් 100 කට අධික ඇබෝර්ජීනියානු පිරිසක් එම දූපත් වලම මිය ගිය බව ජනක SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

එම පිරිස නම් ගම් හෙළි නොකරම එම දූපත් වල වල දැමීමට අදාළ බලධාරීන් කටයුතු කර තිබේ.
One Mile Jetty
One Mile Jetty Source: SBS Sinhala/ Janaka Weerasinghe

බලහත්කාරයෙන් රැගෙන ගියේ නිරෝගී ඇබෝර්ජීනියානුවන්

සමාජ රෝග ඇති බවට පවසමින් Bernier සහ Dorre දූපත් වෙත බලහත්කාරයෙන් රැගෙන ගියේ නිරෝගී ඇබෝර්ජීනියානුවන් බවට කතාවක් පවතී.

එලෙස සිදුකරනු ලැබුවේ අදාළ ඇබෝර්ජීනියානුවන් වාසය කළ ඉඩම් අත්පත් කරගැනීමට බව ද බොහෝ ඇබෝර්ජීනියානුවන් අදටත් පවසන බව SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එලෙස රැගෙන ගිය බොහෝ ඇබෝර්ජීනියානු වැසියන්ට නැවතීම සඳහා වූ ස්ථාන ඔවුන්ටම ඉදිකරගැනීමට සිදුවී ඇති අතර ආහාරද ප්‍රමාණවත් තරම් නොලැබුණු බව වාර්තා වේ.

එම ආහාරද ලැබුණේ බෝට්ටු වලින් ගෙනාවිට පමණි.

දූපතක සිරවී සිටින නිසා එයින් පලා යාමට ද ඔවුන්ට අපහසු විය.
One Mile Jetty
Source: SBS Sinhala/ Janaka Weerasinghe

සමාජ රෝග සඳහා දෙනු ලබන ඖෂධ අත්හදා බැලීමටත් යොදාගෙන

සමාජ රෝග සඳහා දෙනු ලබන ඖෂධ අත්හදා බැලීමටත් Bernier සහ Dorre දූපත් වල බලෙන් රඳවා ගත් මෙම ඇබෝර්ජීනියානු ජනයාව යොදාගත් බව ජනක අප වෙත පැවසීය.

වසර 1905 ඇබෝර්ජීනියානු පනතට අනුව මෙය සිදුකළ නිසා මෙය නීති විරෝධී ක්‍රියාවක් ලෙස සටහන් නොවිණි.

මෙවැනි ආකාරයේ "Lock Hospitals" බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Port Hedland ප්‍රදේශයේත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ස්ථාන දෙකකත් පිහිටි බව ජනක පැවසුවේය.

එවකට මුද්‍රණය කළ පුවත් පත් මෙම "Lock Hospitals" පිළිබඳ වාර්තා කරනු ලැබුවේ බොහොම ධනාත්මක පියවරක් ලෙසටය.
නමුත් ඇබෝර්ජීනියානු ජනයාට මෙම ක්‍රියාව ඉතා කර්කශ ක්‍රියාවක් මෙන්ම මහත් අවමානයක් ගෙනා ක්‍රියාවක් විය.

විශේෂයෙන් තම ප්‍රජාවට සමාජ රෝග පැමිණ ඇත්නම් එය බාහිරින් පැමිණිය යුතු බව ඇබෝර්ජීනියානු ජනයා පවසයි.

සමාජ රෝග පිළිබඳ මානව සමාජයේ දක්වන ලජ්ජා සහගත ආකල්ප සහ ඍණාත්මක අදහස් නිසා ඇබෝර්ජීනියානු ජනතාව සියවසක පමණ කාලයක් මෙම සිදුවූ ක්‍රියාව සඟවාගෙන සිටි බවද SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ අපට වාර්තා කළේය.

නමුත් පසුකාලීන ඇබෝර්ජීනියානු පරම්පරා මේ පිළිබඳ සොයාබැලීම නිසා මෙම තොරතුරු අනාවරණය වීමට පටන් ගෙන තිබේ.
The statue unveiled in Carnarvon acknowledges the history of WA's lock hospitals.
This bronze statue unveiled in Carnarvon acknowledges the history of WA's lock hospitals. Source: SBS Sinhala/ Janaka Weerasinghe

සුවිශේෂී ප්‍රතිමාව

ඔවුන්ට එම සිද්ධීන් ස්මරණය කිරීම කෙතරම් වේදනාත්මක ද කිවහොත් ඇබෝර්ජීනියානු ජනයාට "Lock Hospitals" තිබූ Bernier සහ Dorre දූපත් දෙස පවා බැලීමට අපහසුතාවක් පවතී.

එනිසා ඔවුන් ඇස් වහගෙන අතක් එම දූපත් වෙත දිගු කිරීමෙන් එය සටහන් කරන බව සඳහන්.

කෙතරම් සුන්දර පරිසරයක් එම දූපත් වල තිබුණද ඇබෝර්ජීනියානු ජනයාට එම දූපත් පෙනුණේ සමාජ රෝග කියා වංචා කර  බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තමන්ගේ මුතුන් මිත්තන් රඳවා ඔවුන්ව මරණයට පත් වන්නට ඉඩ හැර ඔවුන්ගේ මෘත සිරුරු ආදාහනය කළ සුසාන භූමි ලෙසය.
මෙම තත්ත්වය නිරුපනය කිරීම සඳහා Carnarvon නගරයේ කුඩා කඳු ගැටයක මුදුනේ Bernier සහ Dorre දූපත් දෙස හැරී ඇස් වසාගත් ගැහැණු දරුවෙක් සහ කුඩා දරුවෙක් සිටින ප්‍රතිමාවක් නිර්මාණය කර තිබේ.

ඇබෝර්ජීනියානු ජනයා සමග ඇති සංහිඳියාව නිරුපණය කිරීමට මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසිනි.

මෙම "Lock Hospitals" මගින් ඇබෝර්ජීනියානු ජනයාට බරපතල අසාධාරණයක් සිදුවූ බවත් එය ඛේදජනක ක්‍රියාවක් බවත් මුලින්ම පිළිගත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය ලෙසද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය ඉතිහාසගත වේ.

Share
Published 9 July 2021 12:54pm
Updated 11 July 2021 11:38pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends